Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

යුක්රේනයේ රුසියානු හිතවාදී පළාත් 2ක් ස්වාධීන රාජ්‍ය ලෙසට නම් කරයි; පුටින්ට හමුදා යෙදවීමට ඒකමතික අනුමැතිය

යුක්රේනයේ රුසියානු හිතවාදී පළාත් 2ක් ස්වාධීන රාජ්‍ය ලෙසට නම් කරයි; පුටින්ට හමුදා යෙදවීමට ඒකමතික අනුමැතිය

යුක්රේනයේ රුසියානු හිතවාදී පළාත් 2ක් ස්වාධීන රාජ්‍ය ලෙසට නම් කරයි; පුටින්ට හමුදා යෙදවීමට ඒකමතික අනුමැතිය

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විදේශයන්හි හමුදා භාවිතය සඳහා කළ ඉල්ලීම ඒකමතිකව අනුමත කිරීමට රුසියානු පාර්ලිමේන්තුවේ ඉහළ මණ්ඩලය වන ෆෙඩරේෂන් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

“අදාළ යෝජනාව සම්මත කර ගැනීමට සෙනෙට් සභිකයින් ඒකමතිකව සහාය දුන්නා” යනුවෙන් ෆෙඩරේෂන් කවුන්සිලයේ වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරන ලද නිවේදනයක සඳහන් වනවා.

ක්‍රෙම්ලිනයට අනුව, ජාත්‍යන්තර නීතිය අනුව පොදුවේ පිළිගත් මූලධර්ම සහ සම්මතයන් මත රුසියානු සමූහාණ්ඩුවේ සන්නද්ධ හමුදා විදේශයන්හි භාවිතා කිරීමට අවසර දෙන බවයි ෆෙඩරේෂන් කවුන්සිලය අනුමත කරන ලද යෝජනාවේ සඳහන් වන්නේ.

මේ අතර යුක්රේනට අයත්, යුක්රේන පාලනය ප්‍රතික්ෂේප කරන, රුසියානු හිතවාදී පළාත්, ස්වාධීන රාජ්‍ය ලෙස පිළිගන්නා බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ජාතිය අමතමින් පැවැසීය. යුක්රේනයේ රුසියන් හිතවාදී බෙදුම්වාදීන්ට අයත් පළාත් ලෙස සැලකෙන්නේ රුසියන් දේශසීමාවට යාබදව පිහිටි ඩොනෙස්ක් සහ ලුහාන්ස්ක් යන පළාත්ය. මෙම පළාත්, ස්වාධීන රාජ්‍යයන් ලෙස රුසියාව නිල වශයෙන් පිළිගත් පළමු අවස්ථාව මෙයයි.

2014 දී රුසියාව, මේ අයුරින්ම යුක්රේන පාලනය ප්‍රතික්ෂේප කළ යුක්රේනයට අයත් ක්‍රිමියා අර්ධද්වීපය ආක්‍රමණය කළේය. ඒ, ක්‍රිමියා අර්ධද්වීපයේ රුසියන් හිතවාදී සන්නද්ධ බෙදුම්වාදීන්ගේ සහාය ඇතිවය. අදත් ක්‍රිමියා අර්ධද්වීපය රුසියාවට අයත් කොටසක් ලෙස සැලකෙයි. 2014 වසරේ සිට මේ දක්වා ඩොනෙස්ක් සහ ලුහාන්ස්ක් පළාත්වලට රුසියාව නිල නොවන මට්ටමින් මුදල් ආධාර ලබා දෙමින් සිටී. බෙදුම්වාදී සටන්කාමීන්ට අවි ආයුධ ලබා දෙන්නේද රුසියාව බව රහසක් නොවෙයි.

ඩොනෙස්ක් සහ ලුහන්ස්ක් යන පළාත් ස්වාධීන රාජ්‍යයන් ලෙස නිල වශයෙන් පිළිගැනීමත් සමඟ එම පළාත්වලට ආධාර ලබා දීම රුසියාවට කළ හැකි වෙයි. ඩොනෙස්ක් සහ ලුහාන්ස්ක් බෙදුම්වාදීන් යුක්රේන හමුදා සමඟ යුද වදින්නේ නම්, රුසියාව ඔවුන්ට සහාය ලබා දෙනු ඇත. රුසියාව යුක්රේනය අක්‍රමණය නොකරනු ඇති නමුත් ක්‍රිමියා අර්ධද්වීපය රුසියාවට එක් කර ගත් ආකාරයට ඩොනෙස්ක් සහ ලුහන්ස්ක් ද රුසියාවට එක් කර ගනු ඇතැයි ජගත් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. (22) සවස් වෙද්දී ජනාධිපති පුටීන්ගේ අණ පරිදි රුසියන් හමුදා බළඇණ කීපයක් ඩොනෙස්ක් සහ ලුහන්ස්ක් පළාත්වලට ළගා වූ බවද පැවැසිණි.

Exit mobile version