Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජනාධිපති රැස්වීමකට යන නිසා ජාතික ජන බලවේගයේ කොඩි බැනර් ගලවන්නැයි පොලිසිය නියෝග කළා – සුනිල් වටගල

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රැස්වීමකට යන බව පවසා ඇඹුල්දෙණිය – මාදිවෙල ප්‍රධාන පාරේ ජාතික ජන බලවේගයේ ප්‍රදර්ශනය කර ඇති බැනර්, කොඩි, පතාක ඇතුළු සැරසිලි ගලවන්නැයි මිරිහාන පොලිසියෙන් නියෝග කළ බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික නීතිඥ සුනිල් වටගල පවසයි.

මෙම සැරසිලි සිදුර කර තිබී ඇත්තේ (20)වන දින පස්වරුවේ ඇඹුල්දෙණිය – මාදිවෙල ප්‍රධාන පාරේ බෝධිය පාර අසළ පැවැත්වීමට නියමිතව තිබූ ජාතික ජන බලවේගයේ කොට්ඨාස සභාව පිහිටුවීමේ උත්සවය හේතුවෙනි.

කෙසේ නමුත් තමා එම සිද්ධිය වී පැයකට පසු එම ස්ථානයට ගිය අතර මිරිහාන පොලිසියේ නිලධාරීන් පැවැසුවේ පළාත් මාර්ග පනත යටතේ මෙය ක්‍රියාත්මක කරන බව තමාට දැනුම් දුන් බවයි. නමුත් එවැනි පනතක් නීතියෙහි නොතිබෙන බව තමා එම පොලිස් නිලධාරීන් වෙත පැහැදිලි කළ බව නීතීඥ සුනිල් වටගල පවසයි.

ඉන් අනතුරුව තමා ප්‍රශ්න කරන විට ඔවුන් පැවැසුවේ මඟ දෙපස අවලස්සන බවත් ජනාධිපතිවරයා එම මාර්ගයේ යෑමට නියමිත බැවින් අදාළ පෝස්ටර් ගලවන ලෙස මිරිහාන පොලිස් ස්ථානාධිපතිවරයා නියෝගයක් කළ බවත්ය.

එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයෙක් මිරිහාන පොලිසියට ගොස් අදාළ සමුළුවට ශබ්ද විකාශන බලපත්‍රය ගැනීමේදීද එහි පොලිස් නිලධාරීන් පවසා ඇත්තේ පෝස්ටර ගලවන්නේ නම් පමණක් එම බලපත්‍රය ලබාදීමට ඔවුන් සූදානම් බවයි.

එම ස්ථානයට ජනමාධ්‍ය පැමිණි බැවින් පොලිස් නිලධාරීන් අවසානයේ නිරුත්තර වූ බවද නීතිඥ සුනිල් වටගල වැඩිදුරටත් සඳහන් කරයි.

 

Exit mobile version