Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

‘හූ හඬකින්’ රටක ආන්ඩුව කණපිට හැරවූ මහා විප්ලවය

කතෝලිකයන්ගේත්, ක්‍රිස්තියානුවන්ගේත් උතුම් වූ නත්තල් උත්සවයට තවත් හරියටම ඇත්තේ දින 03ක් පමණි. රුමේනියාවේ, බුකාරෙස්ට් නැමැති අගනගරය ශීතලෙන් වසාගෙන හිම තුහින පතිත වෙමින් තිබිණි. මේ දිනය හරියටම 1989 වසරේ දෙසැම්බර් 22 වැනිදාය. රුමේනියානු ජනතාව උදය වරුවේ සිටම අගනගරය වෙත රැස්වෙමින් සිටියේ විශේෂ වූ කටයුත්තකටය. දසත වසාගත් ශීතල පවා නොතකමින් ඔවුන් මහත් උනන්දුවෙන් රැස්වන්නට ගත්තේ එක්තරා සුවිශේෂී මිනිසෙකුගේ කතාවක් අසන්නටය. උදෑසන සිට හෝරා දෙකක් පමණ ගතවන විට එතැනට රැස්ව සිටි ජනතාව 80,000ක්ද ඉක්මවා ගියේය. එය මහා විශාල ජනකන්දරාවකි. රුමේනියාවේ ජනපති මන්දිරය ඉහළ මාලයේ සඳළුතලය දෙස ජනතාව ඇසිපිය නොහෙළා බලා සිටියේය. ඉතා මිල අධික කළු පර්සියානු බැටළු සමින් නිමවුණු දිග කබායක් සහ තොප්පියකින්ද සැරැසීගත් මෙම විශේෂිත මිනිසා නියමිත වේලාවට සඳළුතලය මතට පැමිණියේය. ඔහු රුමේනියානු ප්‍රථම ජනාධිපති නිකොලායි සියසෙස්කු (Nicolae Ceausescu) ය. ඉතා දැඩි කොමියුනිස්ට් පාලනයක් ගෙනගිය ඔහු තම ජනතාව අමතන්නට ගත්තේය.

‘වෙනත් සමාජවාදී යුරෝපීය රටවල කොමියුනිස්ට් පාලනය දැන් නැතිවී යමින් තිබුණත්, රුමේනියාවේ කොමියුනිස්ට් පාලනය ඉතාමත්ම ශක්තිමත්. මේ රටේ පාලනය එසේ බිඳවැටෙන්නේ නැහැ. එයට මා ඉඩ තියන්නේ නැහැ. රුමේනියාවේ ස්වාධීනත්වය, අඛණ්ඩතාවය සහ ස්වෛරීභාවය ආරක්‍ෂා කිරීමට මම හැමවිටම කටයුතු කරනවා. ඔබ සැමගේ යහපත් අනාගතය වෙනුවෙන් මම කටයුතු කරනවා කියලා පොරොන්දු වෙනවා.’ නිකොලායි සියසෙක්කු දිගින්, දිගටම කියාගෙන ගියේය. විනාඩි දෙක, තුනක් එසේ ප්‍රකාශ කරගෙන යනවාත් සමගම ජනතාව අතරින් යම් නොසන්සුන්තාවයක් ටිකෙන්, ටික පෙනෙන්නට ගත්තේය. 80,000ක මහා ජනතාව තුළින් විවිධ විරෝධතාවයන් එළිදැක්වෙන්නට විය.

‘නිකොලායි, නිකොලායි ඔබ බොරු කරන්න එපා. පසුගිය කාලයේ ඔබ ජනතාව ආරක්‍ෂා කළේ නැහැ. ජනතාවට සතුරුකම් කළා. මින්පසුව අපට ඔබව එපා. මේ රටට කොමියුනිස්ට් පාලනයත් එපා. ඔබ රුමේනියාවේ ජනාධිපතිවරයාට සුදුසු නැහැ. ඔබ මේ රටේ පාලකයා නෙවෙයි.’ ජනතාව මහහඬින් කෑගසන්නට විය. එහෙත් එම විරෝධතාවය නොසලකා ජනාධිපතිවරයා තම අදහස් දක්වන්නට ගත්තේය. එහෙත් ගතවූයේ මොහොතකි. අදහස් ප්‍රකාශ කළ ජනතාව සියල්ලෝම එක හඬින්ම යම් ශබ්දයක් නඟන්නට ගත්තේය. කුමක්ද ඒ විරෝධය?

‘හූ හූ හූ..’ දසත ගිගුම් දෙමින් ඇසෙන්නට විය. නිකොලායි සියසෙස්කු කතා කරන්නට උත්සාහ ගත්තද, ‘හූ හf`ඩ්’ ප්‍රබලත්වය නිසා එය කරගත නොහැකි විය. 80,000ක පමණ ජනයා එක මොහොතට නඟන ‘හූ හඬ’ ඉතාමත් උද්වේගකර එකක් විය. එමෙන්ම එය ඉතාමත් බලගතුය. දැන් ජනයා නඟන්නේ ‘හූ හඬ’ පමණක්මය. ජනාධිපතිවරයා ලැජ්ජාවෙන් මෙන්ම කෝපයෙන්ද දිදුළන්නට ගත්තේය. තමන් යමක් පැවැසුවාට ඇසෙන්නේ නැත්තේ ‘හූ හඬ’ ඉතාමත් ප්‍රබල හෙයිනි. කරකියාගත නොහැකි වූ ඔහු අවසානයේදී තමන්ගේ මයික්‍රෝපෝනයට දිගට, හරහට තට්ටු කරන්නට විය. රුමේනියානු ජනාධිපතිවරයාගේ මෙම කතාව රූපවාහිනියෙන් විකාශනය වන්නටද ගත්තේය. එහෙත් ‘හූ හඬ’ බලවත් වීම හේතුවෙන් රාජ්‍ය ආරක්‍ෂක අංශ විසින් රූපවාහිනියට නියෝග කළේ වහාම සජීවී විකාශය නවතන ලෙසටය. එහෙත් රූපවාහිනිය එසේ කළේ නැත. ඔවුන් දිගින්, දිගටම සජීවීව සිද්ධිය වාර්තා කළේය. නිකොලායි සියසෙස්කු ‘හලෝ, හලෝ’ යැයි කෑගසමින් මයික්‍රෝපෝනයට තලන්නට විය. සගයනි, සගයනි නිහඬ වෙනු යැයිද ඔහු ශබ්ද නඟන්නට විය. එහෙත් ජනතාවගේ ‘හූ හඬ’ තව, තවත් ප්‍රබල විය. නිකොලායිගේ බිරිය වන රුමේනියාවේ උප අගමැති ධුරය දැරූ එලීනාද ‘නිශ්ශබ්ද වෙයල්ලා’ නිශ්ශබ්ද වෙයල්ලා’ යනුවෙන් කෝපයෙන් කෑගසන්නට වූවාය.

එහෙත් ඒ කිසිවකින් පලක් නොවීය. 80,000ක ජනතාවගේ ‘හූ හඬ’ ඊට වඩා බලවත් විය. එහෙත් ජනාධිපති නිකොලායිද නිකම් සිටියේ නැත. ඔහු වහා තම ආරක්‍ෂක අංශවලට නියෝග කළේ විරෝධතා නඟන ජනතාව මෙල්ල කිරීමටය. යුද හමුදාව සහ පොලිසිය පැමිණ ජනතාවට බැටන්පොලු සහ කඳුළු ගෑස් ප්‍රහාරයන් එල්ල කළේය. යුද ටැංකි පැමිණ ජනතාව දෙසට ධාවනය කරමින් ජනතාව එළවා දමන්නට විය. සමහර මෙල්ල කරගත නොහැකි තරුණ පිරිස්වලට වෙඩි තබන්නටද විය. ඒ අනුව සමහර තරුණයන් මරණයටද පත්විය. රජයේ අණ තකමින් සමහර හමුදා භට පිරිස් කටයුතු කළද, බොහෝ විට පෙනෙන්නට තිබුණේ ජනතාවට ප්‍රහාර එල්ල කිරීමට මැලිවන හමුදා භට කණ්ඩායම්ය. ඔවුන් බොහෝ දෙනෙකුද රුමේනියානු පාලකයාගේ ක්‍රියාකලාපය ප්‍රතික්‍ෂේප කළ පිරිස් විය. කෙසේ හෝ දිනක් යන්නට මත්තෙන් සිදුවූයේ පුදුමයකි. ආරක්‍ෂක හමුදා බහුතරය ජනාධිපතිවරයාගේ පාලනයට විරුද්ධව හමුදා කුමන්ත්‍රණයක් දියත් කළේය. තත්ත්වය දින දෙකක් යන විට අතිශයම ප්‍රබල විය. හමුදාව විසින් ජනාධිපති මැඳුර වටලා ජනපති යුවළ අත්අඩංගුවට ගත්තේය.

ජනතාවගේ ‘හූ හඬ’ හරහා ඇරැඹි එම අරගලය අවසානයේදී මහා ජයග්‍රහණයක් සහ මහා ශෝකාන්තයක් බවටද පත්විය. එනම් රුමේනියානු හමුදාව සමග ජනතාව එක්වී රජය පෙරළා දැමුවේය. එසේම ඉන්පසුව ජනාධිපති නිකොලායි සියසෙස්කු යුවළ හමුදා අත්අඩංගුවට ගෙන හමුදා අධිකරණයක් වෙතට පැමිණවූයේය. එහිදී ඉතාම කෙටි නඩු විභාගයකින් පසුව හරියටම 1989 දෙසැම්බර් 25දා නත්තල් දවසේ උදෑසන අධිකරණ තීන්දුව ලැබුණේ, මෙම යුවළට වහාම වෙඩිතබා ඝාතනය කර දමන ලෙසටය. උතුම් වූ නත්තල් දිනය යැයි පැවසෙමින් නියෝගය තවත් කල්හැරියේ නැත. හරියටම එදින බුකාරෙස්ට් නගරයේ පිහිටි ප්‍රධාන යුද මූලස්ථානය තුළදී සවස 4 වන විටදී හමුදා ඛණ්ඩයක් විසින් යුවළට වෙඩිතබා ඝාතනය කරන ලදී. මේ සඳහා ‘කලාශිකොව් ඒ.කේ.-47’ ස්වයංක්‍රීය මැෂින් තුවක්කු කිහිපයක් භාවිත කර ඇත. ඉතිහාස වාර්තාවලට අනුව මරණයට පත්වූ ජනපති යුවළගේ ශරීර දෙකෙහි වෙඩි උණ්ඩ 120ක් තිබී ඇත. යුවළ ඝාතනය සඳහා බිත්තියක් ඉදිරියේ සිටවූ විටදී ජනාධිපති නිකොලායි කොමියුනිස්ට් නිල ගීතය ගැයූ අතර, බිරිය එලීනා හමුදාවට පරුෂ වචනයෙන් බැනවැදී ඇත.

‘හූ හඬකින්’ ඇරැඹි මෙම මහා අරගලය විටෙක ශෝකාන්තයක් ලෙස පෙනුණද, එය එසේ නැත. එනම් මෙම රුමේනියානු පාලකයා ඉතාමත් කුරිරු පාලකයකු ලෙසට ඉතිහාසය කරුණු කියාපායි. ඔහු තමන්ගේ විරුද්ධවාදීන් මෙන්ම සිවිල් ජනතාවද සමූල ඝාතනයන්ට පත්කළේ යැයි පැවසෙයි. මෙලෙස 1965 සිට 1989 දක්වා ඝාතනයට ලක්වූ පිරිස 60,000කට ආසන්න යැයිද පැවසෙයි. ඔහු රුමේනියාවේ ජනාධිපති ධුරය වසර 15ක් නොකඩවා දරා ඇති අතර, එරට ප්‍රධාන ජනාධිපතිවරයා වන්නේද ඔහුය. ඔහු එරට කොමියුනිස්ට් පාලකයා බවට පත්වන්නේ 1965 වසරේදීය. මොහු ඝාතනයට පත්වන විට 71 වැනි වියෙහි පසුවූ අතර, බිරිය එලීනා 73 වැනි වියෙහි පසුවූවාය. වසර 24ක් පුරා නොකඩවා ඒකාධිපති පාලනයක් ගෙනගිය එකම යුරෝපීය පාලකයා ඔහු ලෙස සැලකෙන අතර, ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර්ට පසුව සිටි කුරිරුතම පාලකයා මොහු යැයිද කියති. කෙසේ හෝ මොහු බලයෙන් නෙරපීම සිදුවූයේ 1989 වසරේ රුසියාවේ කොමියුනිස්ට් පාලනය බිඳවැටීමත් සමගය. එවිට යුරෝපයේ රටවල් රැසක සමාජවාදී පාලනය බිඳවැටීමකට ලක්විය.

ලෝක ඉතිහාසයෙහි කළු අකුරින් ලියා තැබූ මෙම සිදුවීම ගැන දැන් ඔබට පැහැදිලි වනු ඇතිය. කෙසේ හෝ ඉන්පසුව අදටත් රුමේනියාව තුළ ‘රුමේනියානු විප්ලවය’ (Romanian Revolution) නමින් වාර්ෂිකව සංවත්සර උත්සවයක් සමරයි. එය සෑම වසරකම දෙසැම්බර් 22 වැනිදා සිට 25 වැනිදා දක්වා සැමරෙන අතර, ප්‍රීතිමත් නත්තල් දිනයද ඉන් එක් දිනයකි. එනම් නත්තල් දිනයේදීම මෙම කුරිරු ජනාධිපතිවරයා සහ ඔහුගේ හිතුවක්කාර බිරියද නීතිමය ලෙස ඝාතනය කිරීම, අදද කිසිදු රුමේනියානුවකු විසින් ප්‍රතික්‍ෂේප කරන්නේ නැත. ඒ නිසා ඔවුන් නත්තල් දිනයේදී නත්තල් උත්සවයට අමතරව මෙම ඝාතනයන්ද සතුටින් සමරනු ලබති. එලෙස 1989 දෙසැම්බර් 25 වැනිදා සිදුකළ ඝාතනය පසුගිය 2021 වසරේදී සමරනු ලැබුවේ 33 වැනි සංවත්සරය ලෙසය. කෙසේ හෝ මෙම වෙඩි තැබීම සිදුකිරීමට අධිකරණය නියෝග කළ විටදී, එහි කිසිදු අවස්ථාවක් රූපගත කිරීමට රූපවාහිනියට ඉඩ නොදීමට හමුදා පාලකයන් තීරණය කළේය. එහෙත් මෙය ආරංචි වූ සැණින් අවසාන මොහොතේදී කැමරාකරුවන් එතැනට කඩාවැදී ඇත. කෙසේ හෝ අවසානයේදී එම සිදුවීමේ සමහර දර්ශන ලබාගෙන ඇති අතර, දැනටද එම දසුන අන්තර්ජාලයෙන් දැකිය හැකිය.

‘හූ හඬකින්’ රටක් කණපිට හැරවූ මහා විප්ලවයක මෙම අපූරු ඉතිහාස කතාව අද ඔබට ලියා තැබුවේ ඇයි? එයට ප්‍රධානතම හේතුව වූයේ, අද මෙරට මෙතෙක් කිසිදු කාලයක සිදුනොවූ ආකාරයෙන් අලුත්ම ‘හූ රැල්ලක්’ ආරම්භ වී තිබීමය. එනම් දැනට මාස 03 – 04ක කාලයක සිට ශ්‍රී ලංකාව තුළද මෙම ‘හූ රැල්ල’ දිනෙන්, දින උද්දීපනය වෙමින් තිබෙයි. මෙයද සිදුවන්නේ දේශපාලනික වටපිටාවක් පසුබිම් කරගනිමිනි. එනම් දැනට වසරක පමණ කාලයක සිට ශ්‍රී ලංකාව තුළ පොදු ජනතාවට ආර්ථික සහ සාමාජයීය වශයෙන් මුහුණ දෙන්නට සිදුවී ඇති කනගාටුදායක වටපිටාවක් හේතු කරගෙන මෙම ‘හූ රැල්ල’ නිර්මාණය විය. එහිදී ප්‍රධාන වශයෙන් ජනතාව ඉතා දරුණු ආහාර අර්බුදයකට සහ අත්‍යාවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය හිඟයකට මුහුණ දීම මූලික හේතුව විය. මෙහිදී ශ්‍රී ලාංකික ජනතාව වසර 45කට පසුව පෝලිම් යුගයක් දක්වා ඇද දැමීම ඉතාමත්ම ඛේදනීය තත්ත්වයක් විය. එසේම මාස 03ක් වැනි කෙටිකාලයක් තුළදී ජනතාව ඉතාමත් අධික උද්ධමනයකට පත්කර දැමුවේය. පහත මධ්‍යම පන්තියේ සිටි ලක්‍ෂ 07ක පමණ ජනතාව අන්ත දුගී පන්තියට ඇදදැමුවේය.

කෙසේ හෝ මෙලෙස වත්මනේදී ශ්‍රී ලංකාව තුළ ඇතිවී තිබෙන ‘හූ රැල්ල’ නිකම්ම අල්ලා ඉවත දැමිය හැකි විෂයක් නොවේ. අද මුළු මහත් ශ්‍රී ලාංකික සමාජයම දන්නා පරිදි මෙම ‘හූ රැල්ල’ ආරම්භ වී ඇත්තේ වත්මන් දේශපාලනික තන්ත්‍රයට එරෙහිවය. එය කිසිවෙකුටත් බැහැර කළ නොහැකි හේතු සාධකයකි. රාජ්‍ය පාර්ශ්වික සහ රාජ්‍ය ගැති යමෙකු එම මතයට විරුද්ධ වන්නේ නම් එය විකට නාඩගමකි. කෙසේ හෝ රාජ්‍ය ගැති යමෙකු හෝ එවැනි ආකල්පයක් මෙතෙක් දරා නැත. එනම් ජනතාව විසින් මෙම ‘හූ හඬ’ නඟන්නේ සිතෙහි පැනනැඟී ඇති මහත් කලකිරීම සහ කෝපයද කරපින්නා ගනිමිනි. මේ අනුව දැනට පසුගිය කාලය තුළ මෙරට තුළ ස්ථාන ගණනාවකදී වත්මන් රාජ්‍ය දේශපාලනික පුද්ගලයන් එල්ල කරගෙන මෙම ‘හූ ප්‍රහාරය’ එල්ල විය. හොඳින් නිරීක්‍ෂණය කිරීමේදී පෙනී යන්නේ මෙම සිදුවීම් කිසිවක් සැලසුම් කර සිදුනොවූ ඒවා බැව්ය. එනම් ජනතාව විසින් ඒ ඒ, තැන්වලදී ඉතාමත් අනපේක්‍ෂිත අයුරින් එම ක්‍රියාව සිදුකළේය. එම සිදුවීම් එකින්, එක මෙහි විස්තර කරන්නට යන්නේ නැත. එහෙත් එම ප්‍රබල, හැඟීම්බර ‘හූ ප්‍රහාරයන්’ රැසක් පසුගියදා රාජ්‍ය ඇමැතිවරුන්ට මෙන්ම ප්‍රධාන රාජ්‍ය පාලකයාටද එරෙහිව එල්ල විය.

Exit mobile version