Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලංකාව තවතවත් ණය ගනී – බැසිල් ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක ණය ඉල්ලයි

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමග ඉන්ටර්නෙට් ඔස්සේ පැවති හමුවකින් අනතුරුව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය විදේශ සබඳතා ඇමති ආචාර්ය එස්. ජයිශංකර් මහතා සඳහන් කර ඇත්තේ ඉන්දියාව, ශ්‍රී ලංකාවේ ස්ථීර සහ විශ්වාසදායක සහකරුවෙකු වනු ඇති බව යළි තහවුරු කළ බව ය.

එහිදී අමෙරිකානු ඩොලර් මිලියන 400ක විනිමය හුවමාරු පහසුකම දීර්ඝ කිරීම සහ කල් දමන ලද අමෙරිකානු ඩොලර් මිලියන 515.2ක ආසියානු නිශ්කාෂණ සංගම් ගෙවීම් පිළිබඳව ධනාත්මකව සාකච්ඡා කළ බව ඔහු සිය ට්විටර් සටහනේ සඳහන් කර ඇත.

එමෙන් ම, අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 1ක ණය පහසුකම ලබා දීම සහ ඉන්ධන මිල දී ගැනීමට අමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය ලබා දීම කඩිනමින් සාක්ෂාත් කර ගැනීම පිළිබඳව එහිදී සාකච්ඡා වූ බව ජයිශංකර් මහතා සිය සටහනෙහි සඳහන් කර තිබේ. තව ද ශ්‍රී ලංකාවට සහාය දැක්වීම සඳහා ඉන්දියාව අනෙකුත් ජාත්‍යන්තර හවුල්කරුවන් සමග කටයුතු කරන බවට ද එහිදී සහතික වී ඇත.

සිය සටහනේ ජයිශංකර් මහතා තවදුරට ත් සඳහන් කර ඇත්තේ, බලශක්ති සුරක්ෂිතතාවට දායක වන ත්‍රිකුණාමලය තෙල් ටැංකි ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳව ද එම හමුවේදී සාකච්ඡා වූ බව ය.

මෙරට ආර්ථිකය ශක්තිමත් කරන ඉන්දියානු ව්‍යාපෘති සහ ආයෝජන සැලසුම් පිළිබඳව ද එහිදී අවධානය යොමු වී ඇති අතර ජයිශංකර් මහතා වැඩිදුරට ත් සිය ට්විටර් සටහනේ සඳහන් කර ඇත්තේ, මානුෂීය පියවරක් ලෙස මෙරට අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් කඩිනමින් නිදහස් කරන ලෙස තමන් එහිදී ඉල්ලා සිටි බව ය.

 

Exit mobile version