Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අපි හැමෝම එක රෑනක සිටිය යුතුයි – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ

දුෂ්කර අවස්ථාවල එකට සිටි, එක අරමුණක් වෙනුවෙන් සටන් කළ සියලු පක්‍ෂ එක රෑනට එකට සිටිය යුතු බවත්, ඒ සමඟිය රැකීම ප්‍රධාන පක්‍ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වගකීමක් බවත්, ඇතැම් පක්‍ෂ කුඩා විය හැකි නමුත් දේශපාලනයේදී වැදගත් වෙන්නේ ලොකු කුඩා නොව අරමුණ බව කී අග්‍රාමාත්‍යවරයා ‘ඒ කවුරුත් අපේ ආධාරක, කිහිලිකරු හෝ අතකොලු නෙවෙයි. අපිත් එක්ක එකට එක අරමුණකට ගමන් කරන අය යැයි ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව පැවසුවේ කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේ දී පෙරේදා දින (2) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වැනි සංවත්සර උළෙලට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

සමඟිය අත වැනීම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ලැබුණු උරුමයක් බව කී අග්‍රාමාත්‍යවරයා දුෂ්කර අවස්ථාවල එකට සිටි, එක අරමුණක් වෙනුවෙන් සටන් කළ කවුරුත් ඈත් කළ නොහැකි බවත්, ආණ්ඩු බලයෙන්, අමාත්‍යාංශවලින්, රාජ්‍ය ආයතනවලින් කරන්න බැරි බොහෝ දේ ඇති බවත් පසුගිය කාලයේ ගුරු වර්ජනය දුරදිග ඇදී ගියේත්, ගොවි උද්ඝෝෂණ මෙතරම් බරපතල ලෙස ඇදී යන්නේත් ඒ අය අතර වැඩ නොකළ නිසා යැයි පැවසීය.

රජය ජනතා හඬ තේරුම් ගත යුතු බව කී අගමැතිවරයා රජය එම දේශපාලනයෙන් ඈත්වුවහොත් පරාජය කළ බලවේල පටු වාසි ගැනීමේ අරමුණින් ජනතාව අතරට රිංගා විශාල අවුල් ඇතිකරන බව ද කීවේය.

ඡන්දය දුන් ජනතාව දැන් ඉන්නේ ඉතා අපහසු දුෂ්කර තත්වයක බව අමතක නොකළ යුතු බව කී අග්‍රාමාත්‍යවරයා මෙවැනි කාලවල නොකළ වැරදිවලට වුණත් ජනතාව බනින්නේ ආණ්ඩුවට බවත්, ජනතාව බැන්නත්, පඹයෝ පිච්චුවත් ජනතාව අතරට යා යුතු බව ද සඳහන් කළේය.

Exit mobile version