Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

එක නීතියක්, එක රටක් යටතේ දූෂණයෙන් තොරව නිවැරදිව ඉදිරියට යන්න සහාය දෙන්න -ජනපති

නිදහසට කරුණු කියන්නේ නැහැ. එක නීතියක්, එක රටක් යටතේ දූෂණයෙන් තොරව, නිවැරදිව ඉදිරියට යාමට සහාය දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමස්ත රට වැසියන්ගෙන් ඉල්ලා සිටී.

ඊයේ (10) දිනට යෙදී තිබු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 72 වන සංවත්සරය වෙනුවෙන් අනුරාධපුර, සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ පැවති සම්මාන පෙළපාලිය පිළිගනිමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

කොවිඩ් වසංගතය හේතුවෙන් ආර්ථිකය පහළ බැසීමට ලක්වු නමුත් අදාළ කාලසීමාව තුළදී විශාල වැඩ කොටසක් ජනතාව වෙනුවෙන් සිදුකර ඇති බව ද ජනාධිපතිවරයා පැවසීය.

ලෝකයේ හමුදාවන්, යුද්ධයට පමණක් නොව ජාතිය ගොඩනැගීමටත් කැප වී සිටින බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර තිබේ.

ත්‍රිවිධ හමුදාව නිරෝධායනයේ දී සහ එන්නත්කරණයේ දී සෞඛ්‍ය අංශවලට සහාය වෙමින් කොවිඩ් පාලනයට එක්වු බවත් සඳහන් කර ඇති ජනාධිපතිවරයා, ඒ සඳහා කළ කැපකිරීමට සියලුදෙනාට තම ස්තූතිය පළ කරන බවද සඳහන් කර ඇත.

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව සංවිධාන කෙරුණු යුද හමුදා සැමරුම් උළෙලට පැමිණි ජනාධිපතිවරයා සාලියපුර ගජබා රෙජිමේන්තු කඳවුරේ අභිනවයෙන් ඉදිකෙරුණු සරඹ භූමිය විවෘත කර රණවිරු අයිතියට පත් කර තිබේ.

අනතුරුව ජනාධිපතිවරයා උත්තමාචාර පෙළපාලිය නිරීක්ෂණය කෙරිණි.

ත්‍රිවිධ හමුදාවේ සහ බුද්ධි අංශවල මානසිකත්වය ඉහළ නංවාලමින්, රාජකාරී බලතල නිසි අයුරින් පවරමින් පසුගිය දෙවසර තුළ ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය දී කටයුතු කළ බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබේ.

ෙනැවතත් ත්‍රස්තවාදයක් හෝ ආගමික අන්තවාදී ක්‍රියාවන් ඇති නොවන ආකාරයෙන් රට ආරක්ෂා කරගැනීමට කැපවී සිටින බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනතාවට පොරොන්දු වූ ආකාරයට නව ව්‍යවස්ථාවක් සහ නව ඡන්ද ක්‍රමයක් ඇති කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

දූෂණයට, වංචාවට ඉඩ නොතබන අතර ඒ සඳහා කැපවෙමින් සියලුම නිලධාරීන් ජනතාව වෙනුවෙන් වැඩ කළ යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

Exit mobile version