Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පරිසර හිතකාමී වාහන ආනයනයට පියවර

රටේ වායු දූෂණය අවම කිරීමේ පියවරක් ලෙස විදුලි බලයෙන් ක්‍රියාත්මක වන මෝටර් රථ ආනයනය සඳහා ප්‍රමුඛත්වය ලබාදීමට රජය තීරණය කර ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ඒ අනුව යළි වාහන ආනයනය කිරීමට තීරණය කළ පසු මෙම තීරණය ක්‍රියාත්මක වනු ඇතැයි ඇමතිවරයා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ඒ සඳහා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට ද මේ වන විට අනුමැතිය ලැබි ඇතැයි කී අමාත්‍යවරයා මගී ප්‍රවාහණය සඳහා විදුලිබලයෙන් ක්‍රියාකරන පහත් පතුල් සහිත බස් රථ (Electric Low Floor Busses) යොදා ගැනීම කෙරෙහි ද රජය අවධානය යොමු කර ඇතැයි ද සඳහන් කළේය.

පරිසර අමාත්යරවරයා මේ බව පැවසුවේ තමා සභාපතිත්වය දරන දේශගුණික විපර්යාස සදහා විසඳුම් ලබා දෙන හරිත ආර්ථිකයක් සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකායේ රාජ්‍ය අමාත්‍ය අනුකමිටුව අමතමිනි.

එමෙන්ම දැනට විදුලිබලයෙන් ක්‍රියාකරන වාහනයක් විද්‍යුත් ආරෝපණයෙන් පසු ගමන් කළ හැකි උපරිම දුර කිලෝමීටර් 300-350ක් පමණ වන නිසා කිලෝ මීටර් 550ක් පමණ ධාවනය කළ හැකි මෝටර් රථ ආනයනය කිරීමටත්, විදුලි ආරෝපණ මධ්‍යස්ථාන සංඛ්‍යාව වැඩි කිරීමටත් අවධානය යොමු කර ඇති බව ද මහින්ද අමරවීර මහතා පැවසීය.

දැනට පුද්ගලික අංශය මගින් විවිධ ස්ථානවල ස්ථාපික කළ විදුලි ආරෝපණ මධ්‍යස්ථාන 400ක් පමණ ඇතැයි කී ඇමතිවරයා එවැනි මධ්‍යස්ථාන තවත් 350ක්වත් පිහිටුවිය යුතු බව ද කීවේය.

Exit mobile version