Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අවුරුදු 60 වැඩි වැඩිහිටියන්ට පමණක් නොව, 12ට වැඩි සියලු දෙනාටද ‘ෆයිසර්’ එන්නත

අවුරුදු 60 වැඩි වැඩිහිටියන්ට පමණක් නොව, 12ට වැඩි සියලු දෙනාටද 'ෆයිසර්' ප්‍රවර්ධක එන්නත

අවුරුදු 60 වැඩි වැඩිහිටියන්ට පමණක් නොව, 12ට වැඩි සියලු දෙනාටද 'ෆයිසර්' ප්‍රවර්ධක එන්නත

ඊශ්‍රායලයේ අවුරුදු 12ට වැඩි සියලු දෙනාට තෙවැනි එන්නත් මාත්‍රාවක් ලබා දීමට එරට සෞඛ්‍ය අංශ තීරණය කර තිබේ. ඒ, ‘කොවිඩ් 19 ඩෙල්ටා’ විකෘතියේ බලපෑම හේතුවෙනි.

ලෝකයේ වඩාත් සාර්ථක එන්නත්කරණයක් සිදු කළ රටක් ලෙස ඊශ්‍රායලය සැලකෙයි. ඊශ්‍රායල වැසියන්ට ලබා දෙන්නේ ඇමෙරිකාවේ ‘ෆයිසර්’ එන්නතය. රටේ ජනගහනයෙන් සියයට 70 කට එන්නත් මාත්‍රා නියමිත පරිදි ලබා දීමත් සමඟ සෞඛ්‍ය නීති ලිහිල් කෙරුණි.’කොවිඩ් 19′ ඩෙල්ටා විකෘතිය හිස එසවූයේ එම අවස්ථාවේදීය.

‘ෆයිසර්’ එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් 60 වැඩි සියලු දෙනාට ප්‍රවර්ධක මාත්‍රාවක් ලෙස තෙවැනි ‘ෆයිසර්’ එන්නතක් ලබා දීම ඒ අනුව ආරම්භ විය. ‘ෆයිසර්’ තෙවැනි එන්නත් මාත්‍රාව ලබා දීම සිදුවන්නේ පළමු සහ දෙවැනි මාත්‍රා ලබා ගෙන මාස 6ක් ගත වීමෙන් පසුව යැයිද පැවැසෙයි.

ප්‍රවර්ධක මාත්‍රාව ලබා දීමත් සමඟ දෛනිකව වාර්තා වන ‘කොවිඩ් 19’ අාසාදිතයන්ගේ අඩුවක් දකින්න ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසා ඇත. ඊශ්‍රායලයේ සෞඛ්‍ය නීතිරීති පවා මේ වනවිට දැඩි කර තිබේ. අවුරුදු 60 වැඩි වැඩිහිටියන්ට පමණක් නොව, 12ට වැඩි සියලු දෙනාටද ‘ෆයිසර්’ ප්‍රවර්ධක එන්නත ලබාදීම අනිවාර්යයෙන් කළ යුතු බව ඊශ්‍රායල සෞඛ්‍ය අංශ තීරණය කළේ ඉකුත් සති අන්තයේය.

කෙසේ නමුත් මේ වනවිට ප්‍රවර්ධක‍ එසේත් නැතිනම් බූස්ටර් එන්නතක් ලබාදීම කෙරෙහි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී නැත. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත්තේ ප්‍රවර්ධක‍ එන්නතක් ලබා දීමට පෙර, ලොව සෑම කෙනෙකුටම පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රා නියමිත පරිදි ලැබිය යුතු බවය.

ඊශ්‍රායලය පමණක් නොව, බටහිර රටවල් බොහොමයක් මේ වනවිටත් ‘ෆයිසර්’ පළමු සහ දෙවැනි මාත්‍රා ලබා ගත් එම රටවල වැසියන්ට තෙවැනි මාත්‍රාවක් ලබාදීම ආරම්භ කර අවසන්ය.

Exit mobile version