Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නිමාලි පාවහන් යුගලය අමතක කර ඔලිම්පික් ගිය කතාව කෙප්පයක් – ක්‍රීඩා ඇමතිව නොමග යවලා

මෙවර ටෝකියෝහි පැවති ඔලිම්පික් උළෙල සඳහා මීටර් 800 තරග ඉසව්ව නියෝජනය කළ නිමාලි ලියනආරච්චි ක්‍රීඩිකාව සිය ධාවන පාවහන් යුගලය (Spikes) අමතක කර දමා ජපානයට ගොස් ඇති බවට ක්රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විවිධ අදහස් පළවෙමින් තිබේ.

අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයෙන් පසුව ඇය මාධ්‍ය වෙත පවසා තිබුණේ, තමන් ධාවන පාවහන් යුගලය අමතක කර නොගිය බවත් එය තමන්ට අතිශයින් ම වැදගත් වන හෙයින් සිය අත් බෑගයේ ම දමාගෙන ගිය බවය.

කෙසේ වෙතත්, ජපානයේදී නව පාවහන් යුගලක් මිල දී ගැනීමට අවශ්ය බව තමන් සමග ගිය නිලධාරීන්ට දැනුම් දුන් අතර ඔවුන් මෙම සිද්ධිය ක්රීඩා අමාත්‍යවරයාට නොමග යවන සුලු ආකාරයෙන් සැල කර ඇති බවත් ඇය පවසා තිබිණි.

මේ අතර, ඇයගේ ක්රීඩා අභිප්‍රේරකයෙකු ලෙස කටයුතු කර ඇති ප්‍රවීණ ක්‍රීඩා අභිප්‍රේරකයෙකු වන භාතිය අර්ථනායක මහතා පවසන්නේ, ඇය සිය තරග ඉසව්ව සඳහා භාවිත කළ පාවහන් යුවළ තමන් ඇයට පරිත්‍යාග කළ එකක් බවය.

එය ඔලිම්පික් කමිටුව ඇයට ලබා දුන් එකක් නොවන බවත් කමිටුවේ නිලධාරීන් ක්රීඩා අමාත්යවරයාට වැරදි තොරතුරු සපයා ඇති බවත් භාතිය අර්ථනායක මහතා පවසා ඇත.

“මට ක්‍රීඩා අමාත්‍යවරයා එක්ක විවාදයක පැටලෙන්න අවශ්ය නෑ. ඒත් මෙතන වෙලා තියෙන්නේ එතුමා නොමග ගිහින්. තමන්ගේ වැරදි වහ ගන්න ක්‍රීඩා ඇමතිවරුන්ට බොරු කියන ගොඩක් නිලධාරීන් ඉන්නවා. ඒක මම කාලයක ඉඳලා දැක්ක දෙයක්. ඒ වගේ නිලධාරීන් කියපු දෙයක් විශ්වාස කරලා තමයි අමාත්‍යවරයා ඔය ප්‍රකාශය කරන්න ඇත්තේ,” ප්‍රවීණ ක්‍රීඩා අභිප්‍රේරක භාතිය අර්ථනායක ප්‍රකාශ කළේය.

Exit mobile version