Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

“අපරාධකාරයෙක් බලන්න යන අයට වත් මෙච්චර හිරිහැර බාධක නෑ” – ලංකා ගුරු සංගමයේ සභාපති බැලීමට ගිය නියෝජිතයන්

ස්ථාන මාරුවීම් ලබා නව රාජකාරිවලට වාර්තා නොකළ ගුරුවරුන්ගේ වැටුප් අත්හිටුවීමට පොරොන්දු වුනා - ලංකා ගුරු සංගමය

ස්ථාන මාරුවීම් ලබා නව රාජකාරිවලට වාර්තා නොකළ ගුරුවරුන්ගේ වැටුප් අත්හිටුවීමට පොරොන්දු වුනා - ලංකා ගුරු සංගමය

“අපි ආවෙ අපරාධකාරයො බලන්න නෙවෙයි. අපරාධකාරයො බලන්න යන දේශපාලනඥයන්ට වත් මෙච්චර හිරිහැර බාධක නෑ. අපි මේ සම්බන්ධයෙන් රජයට අපේ බරලපතල විරෝධය හා අප්‍රසාදය පළකරනවා” මෙසේ පවසන්නේ ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතායි.

උද්ඝෝෂණයක් අතරතුරදී අත්අඩංගුවට ගෙන අධිකරණයෙන් ඇපමත මුදාහැරීමෙන් අනතුරුව මේ වනවිට මුලතිව් ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක රඳවා සිටින, ලංකා ගුරු සංගමයේ සභාපති ජෝෂප් ස්ටාලින් මහතා බැලීම සඳහා ගුරු සංගම් නියෝජිතයන් පිරිසක් ඊයේ මුලතිව් වෙත ගොස් තිබිණි. අනුරාධපුර සිට මුලතිව්හි කේපාපිලව් ගුවන් හමුදා කඳවුර දක්වා අතරමග ස්ථාන කිහිපයකදී ආරක්ෂක අංශවලින් තමන්ට බාධා එල්ල වූ බවයි ලංකා ගුරු සංගමය පෙන්වා දෙන්නේ.

එම සංගමයේ උතුරු මැද පළාත් සම්බන්ධීකාරක ජේ.එම්. ඉල්ලියාස් මහතා පවසන්නේ හමුදා නිළධාරීන් දිගින් දිගටම ප්‍රශ්න කරමින්, තමන්ගේ ගමනට බාධා කරමින් හිරිහැර සිදුකළ බවයි. තමන් මේ ජීවත් වන්නේ නිදහස් රටකද යන සැකය මතු වූ බවද ඔහු පවසනවා.

ගුරු සංගම් නි‍යෝජිතයන් පැමිණෙන බව වාර්තාවීමත් සමග මුලතිව් නගරයේ සහ කේපාපිලව් ගුවන් හමුදා කඳවුර අසල විශේෂ ආරක්ෂාවක් යොදා තිබූ බවද වාර්තා වේ.

ගුරු සංගම් නියෝජිතයන්ට ස්ටාලින් මහතා හමුවීමට අවස්ථාව ලබා දී නොමැති අතර ඔවුන් රැගෙන ආ භාණ්ඩ ගුවන් හමුදා කඳවුරේ ඉහළ නිළධාරීන් විසින් බාරගෙන තිබේ.

මේ අතර ස්ටාලින් මහතා අත්තනෝමතික ලෙස රඳවා තබාගෙන සිටින බවට ලැබුණු පැමිණිලි විභාග කිරීම සඳහා ගිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නිළධාරීන්ටද බාධා එල්ල වී තිබෙනවා.

මෙම පැමිණිලි සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන සඳහා ගුවන් හමුදාවෙන් ප්‍රමාණවත් සහායක් නොලැබෙන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ගුවන් හමුදාපතිවරයාට දන්වා ඇති අතර ඒ සම්බන්ධයෙන් කණගාටු වන බවද මානව හිමිකම් කොමිසම පවසා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ගුවන් හමුදාපතිවරයාට දින 05 ක කාලයක් ලබා දී තිබේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ලැබුණු පැමිණිල්ලක් අනුව මූලික විමර්ශනයක් සඳහා කොමිසමේ යාපනය සම්බන්ධීකාරක ටී. කනගරාජ් ඇතුළු නිලධාරීන් පිරිසක් ජූලි 9 දා මුලතිව් ගුවන් හමුදා කඳවුරට ගිය අවස්ථාවේ විමර්ශනයට අවශ්‍ය තොරතුරු කඳවුරේ නිලධාරීන් විසින් ලබා දී නොමැති බව, කොමිසමේ සභාපති ආචාර්ය ජගත් බාලසුරිය විසින් ගුවන් හමුදා ප්‍රධානියාට යවා ඇති ලිපියක දැක්වේ.

එම සහාය නොදැක්වීම සම්බන්ධයෙන් නිමල් කරුණාසිරි කොමසාරිස්වරයා විසින් දැනුම් දීමෙන් අනතුරුව ගුවන් හමුදාපතිගේ උපදෙස් පරිදි ජූලි 13 දා ගුවන් හමුදා කඳවුරට ගිය කොමිසමේ නිලධාරීන්ගේ විමර්ශනයට දෙවැනි වතාවටත් සහාය නොදුන් බව මානව හිමිකම් කොමිසමේ සභාපාතිගේ ලිපිය පවසයි.

Exit mobile version