Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්දීය ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය කොළඹින් හමුවෙයි; ප්‍රභේදයේ පැතිරීම කිව නොහැකියි

ඉන්දීය සැර කොරෝනා ප්‍රභේදය කොළඹින් හමුවෙයි; ප්‍රභේදයේ පැතිරීම කිව නොහැකියි

ඉන්දීය සැර කොරෝනා ප්‍රභේදය කොළඹින් හමුවෙයි; ප්‍රභේදයේ පැතිරීම කිව නොහැකියි

ඉන්දියාවේ මේදිනවල වේගයෙන් පැතිර යන බී.1.617.2 හෙවත් ඩෙල්ටා කොවිඩ් වයිරස ප්‍රභේදය ආසාදනයවූ පුද්ගලයන් පස් දෙනකු කොළඹ දෙමටගොඩ ප්‍රදේශයෙන් හමුවූ බව කොරෝනා නව වයිරස ප්‍රභේද පිළිබඳ පරීක්ෂණ පවත්වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

මීට අමතරව බ්‍රිතාන්‍යයේ පැතිර ඇති බී117 ඇල්ෆා වයිරස ප්‍රභේදය ආසාදනයවූ ආසාදිතයන් පිරිසක් තවත් ප්‍රදේශ පහකින් සොයාගත් බවද ඔහු සඳහන් කරයි.

සෞඛ්‍ය අංශ ප්‍රධානීන් සඳහන් කරන අන්දමට ඉන්දියාවේ මේදිනවල සීග්‍රයෙන් පැතිර යන ඩෙල්ටා කොවිඩ් වයිරස ප්‍රභේදය මෙරට සමාජයෙන් හමුවූ පළමු අවස්ථාව මෙය වෙයි.

ඩෙල්ටා ඉන්දීය කොවිඩ් වයිරස ප්‍රභේදය ආසාදනය වූ දෙදෙනකු මෙයට පෙර මෙරටින් හමුවූවත් ඔවුන් දෙදෙනාම සොයාගෙන තිබුණේ මෙරට නිරෝධායන මධ්‍යස්ථාන දෙකකිනි. මෙම ඉන්දීය වයිරස ප්‍රභේදය මෙරට මේ දිනවල ශීඝ්‍රයෙන් පැතිර යන බී117 ඇල්ෆා බ්‍රිතාන්‍ය වයිරස ප්‍රභේදයට සාපේක්ෂව පැතිරීමේ සීඝ්‍රතාව සියයට 50කින් පමණ ඉහළ අගයක් ගන්නා බවත් ඉන් දරුණු රෝග ඇතිවීමේ හැකියාවද වැඩි බවත් චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේය.

එසේම එක් කොරෝනා මර්දන එන්නත් මාත්‍රාවකින් මෙම ඉන්දීය ප්‍රභේදය පාලනය කළ නොහැකි බවත් ඔහු පැවසුවේය.
බ්‍රිතාන්‍ය ඇල්ෆා වයිරස ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් හමු වී ඇත්තේ කොළඹ 6, කොළඹ8 ,කොළඹ 10 ,මඩකලපුව සහ ගාල්ල කරාපිටිය ප්‍රදේශවලිනි. මේ සැර කොරෝනා වයිරස ප්‍රභේද ආසාදනය වූ පුද්ගලයන් හමු වීමෙන් පසුව ඔවුන්ගේ ළඟම ආශ්‍රිතයන් වෙන්කර නිරෝධායනය කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය අංශ ප්‍රධානීහු පවසති.

මෙම සැර කොරෝනා වයිරස ආසාදනවූ පුද්ගලයන් පිළිබඳ ජාන විශ්ලේෂණ වාර්තාව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතාට (17) පෙරවරුවේ බාරදෙනු ලැබීය.

ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීම කිව නොහැකියි – රවි කුමුදේශ්

මේ අතර ඉන්දියානු ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයකු ලංකාවේ ප්‍රජාව ආශ්‍රයෙන් (ජුනි 17) දින සොයා ගෙන ඇති තත්ත්වයක් තුළ රටේ කොවිඩ් ප්‍රභේද පරීක්ෂා කිරීම ඉතා අවිධිමත් සහ මඟ හැර තිබීම හේතුවෙන් අක්‍රමවත් ලෙස ලැබෙන මෙම ප්‍රථිඵල මඟින් රට තුළ ඩෙල්ටා ප්‍රභේදය කෙතරම් පැතිරී ඇත්දැයි යන්න කිසිසේත්ම තහවුරු කළ නොහැකි බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් පවසයි.

ලෝකයේ බොහෝ රටවල රතු කලාපවලට ඇතුළත් කර ඇති ශ්‍රී ලංකාව, කොවිඩ් ප්‍රභේද පරීක්ෂා කිරීම සිදු නොකර සිටීම නිසාම නොදියුණු සෞඛ්‍ය සේවාවක් ඇති රටක් බවට තහවුරු වෙමින් තිබෙන බවත් රවි කුමුදේශ් තවදුරටත් අවධාරණය කරයි. ඉන්දියාවේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ අයෙක් ලංකාවේ කොළඹ දෙමටගොඩ ප්‍රදේශයෙන් හමු වීමත් සමඟ මෙම ප්‍රභේදය හමු වූ මෙරට ආසාදිත ගණන 05 දක්වා ඉහල ගොස් ඇති බව ප්‍රකාශ කරමින් ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර වැඩි දුරටත් සඳහන් කරන්නේ මෙම වෛරස ප්‍රභේදය සෙසු වෛරස් ප්‍රභේදයන්ට වඩා සියයට 50 ක පැතිරීමේ තීව්‍රතාවක් දක්නට ඇති බවයි.

Exit mobile version