Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

යුරෝපියානු ගුවනේ බෙලරුස් ගුවන් යානා පියාසර කරවීම තහනම්

බෙලරුස් ගුවන් යානා යුරෝපියානු සංගමයේ ගුවන් අවකාශය භාවිත කිරීම සහ ගොඩබෑම යුරෝපියානු සංගමය විසින් තහනම් කර තිබෙනවා. පසුගිය මැයි 23 වන දින බෙලරුස් ගුවන් අවකාශය හරහා ගමන් කළ ගුවන් Ryan Air යානාවක් බලහත්කාරයෙන් ගොඩබා ගුවන් යානය තුල සිටි විපක්ෂ ක්‍රියාකාරිකයෙකු සහ මාධ්‍යවේදියකු වන Raman Pratasevish ව බෙලරුස් ආරක්ෂක අංශ විසින් විසින් පැහැරගනු ලැබුවා.

මෙම ක්‍රියාව ගුවන් යානා නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් ලෙසට සැලකෙනවා. Ryan Air මූලස්ථානය පිහිටා තිබෙන්නේ යුරෝපියානු සංගමයේ රටක් වන අයර්ලන්තයේ ඩබ්ලින් නුවරයි. මෙයට පළිගැනීමක් ලෙස හෝ එකට එකක් කිරීමක් ලෙස යුරෝපියානු සංගමය මෙම තහනම පනවා තිබෙනවා.

මෙම තීරණයට සමගාමීව යුරෝපියානු සංගමයට අයත් රටවල් වල ගුවන් යානා බෙලරුස් ගුවන් අවකාශය භාවිතා කිරීම සහ එහි ගොඩබෑම තහනම් කරමින් යුරෝපියානු ගුවන් ආරක්ෂක ඒජන්සිය (European Aviation Safety Agency-EASA) නියෝගයක් නිකුත් කර තිබෙනවා.

නමුත්, British Airways සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියා සහ, අන්තර්ජාතික ගුවන් ප්‍රවාහන සංසදයේ (International Air Transport Association – IATA) අධ්‍යක්ෂ ජනරාල් Willie Welsh මෙම තීරණයන්ට විරුද්ධත්වය ප්‍රකාශ කර සිටිනවා. ගුවන් ගමන් තීරණය කළ යුත්තේ ආරක්ෂාව මත මිස දේශපාලන තීන්දු තීරණ හරහා නොවන බව ඔහු අවධාරණය කරනවා.

Exit mobile version