Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

චානක්‍යන්ගෙන් මංගල සමරවීරට ඇරයුමක්! චානක්‍යන්ට කැමතිම නායකයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ලූ!

චානක්‍යන්ගෙන් මංගලට ඇරයුමක්!

චානක්‍යන්ගෙන් මංගලට ඇරයුමක්!

දේශපාලනයෙන් සමුගන්නා බව පවසා ඇති හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා, නැවතත් දේශපාලනයට අවතීර්ණ විය යුතු බවට ඉල්ලා සිටින ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චානක්‍යන් මහතා, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට වඩා වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ජනප්‍රිය භාවය වැඩියෙන් පවතින බවද පැවසීය.

මේ නිසා 2015 වර්ෂයේ පරාජය කළ මහින්ද රාජපක්ෂ මහතාට, 2019 වර්ෂයේ නැවතත් පාලන බලය අත්පත් කර ගැනීමට හැකි වූ බව දැන් වූ ඔහු , මහින්ද රාජපක්ෂ මහතා නොමැති නම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නැමැති පක්ෂයක් බිහි නොවේවි යැයි ප්‍රකාශ කළේය.

මාධ්‍ය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චානක්‍යන් මහතා ඉහත සඳහන් කරුණු ප්‍රකාශ කළ අතරම ඔහු තවදුරටත් කියා සිටියේ, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දක්ෂ රාජතාන්ත්‍රිකයෙකු බවත්, නමුත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙන් ඔහුට ජනප්‍රිය බාවය අඩු බවත්, මහජනතාව සමඟ සමීපතාවය වර්ධනය කර ගත හොත් රටේ විශිෂ්ට නායකයෙකු ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට සිටිය හැකි බවත් ය.

” මා කැමති නායකයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයි. පාර්ලිමේන්තුවේ සිටින සියළු නවක මන්ත්‍රීවරුන්ගේ ගැටළු සම්බන්ධයෙන් පවා ඔහු අසා දැනගනී. ඔහු සිනාසී මිත්‍රත්වයෙන් සිටින පුද්ගලයෙකි. මහින්ද රාජපක්ෂ මහතාට ජනතා ප්‍රියතාවය අධික ලෙස පවතින බවද චානක්‍යන් මහතා පැවසීය.

2015 වර්ෂයේ පොදුජන අපේක්ෂකයෙකු ලෙස පෙනී සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා, තමාට පවරා තිබූ වගකීම් අමතක කර කටයුතු කළ බවද , ජනාධිපති වීමෙන් පසු මෛත්‍රීපාල මහතා වැරදි මාර්ගයේ ගමන් කළ බවද , මෛත්‍රීපාල සිරිසේන මහතාට නොබෙල් ත්‍යාගය පිරිනැමිය යුතු බව ඇතැම් අය පසුගිය කාලයේ පැවසූ බවද ඔහු ප්‍රකාශ කළේය.

මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 දී ආරම්භ කළ ගමන ඒ ආකාරයෙන්ම පවත්වාගෙන ගියේ නම්, ලෝකයේ විශිෂ්ට නායකයෙකු ලෙස ඉතිහාසගත වීමට ඉඩ තිබිණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හොඳ පරිපාලකයෙකු ලෙස සිටියද , ඔහුට දේශපාලන අවබෝධය අඩු බව පැවසූ මන්ත්‍රී චානක්‍යන්, 20 වන සංශෝධනය සම්මත වීමෙන් පසු රටෙහි ඇති ව්‍යවස්ථාදායකය විධායකය අධිකරණය යන ත්‍රිත්වයට වඩා තමා බලගතු යැයි ජනාධිපතිවරයා සිතන බවද පැවසීය.

දේශපාලනයෙන් සමුගන්නා බව පවසා ඇති හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා, යළිත් වරක් දේශපාලනයට පැමිණිය යුතු යැයි තමා ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

Exit mobile version