Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පොහොර ආනයනයට නැවතත් අනුමැතිය

රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය මෙරටට ගෙන්වීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් නිකුත් කළ ගැසට් පත්‍රයත්, නොනිල වශයෙන් ‘රිවස්’ කිරීමට ආණ්ඩුව කටයුතු කර තිබෙන බව තහවුරු වේ.

මේ තහනම පූර්ණ වශයෙන් ක්‍රියාත්මක නොකොට, විශේෂ ආනයන බලපත්‍ර යටතේ රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ගෙන්වීමට අදාළ අංක 2226/48 දරන ගැසට් පත්‍රය මැයි 06 ද මුදල් ඇමැතිවරයා ලෙස, අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කර තියෙනවා. මේ පිළිබඳව 10වන දිනයේ මේ ද්‍රව්‍ය ගෙන්වන සමාගම් සහ ආනයන හා අපනයන පාලකවරයා අතර විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිත යි.

අගමැතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව කෘෂි රසායනික ද්‍රව්‍ය කිසිවක් තහනම් කෙරෙන්නේ නැහැ. ඒ සියල්ලට ආනයන හා අපනයන පාලකවරයාගේ බලපත්‍ර හිමි වෙනවා. රසායනික පොහොර වර්ග කිහිපයක් පමණක් තහනම් කිරීමට නියමිත යි. එහි සඳහන් වන ආකාරයට වෙ‌ළෙඳපොළේ දැනට පවතින ප්‍රමිතියෙන් යුත් රසායනික පොහොර වෙනුවට, ප්‍රමිතියෙන් බාල රසායනික පොහොර ගෙන්වීමේ අවස්ථාව ද ව්‍යාපාරිකයන්ට හිමි වීම බරපතළ තත්ත්වයක් බව කෘෂි විද්‍යාඥයෝ පෙන්වා දෙනවා.

කාබනික පොහොර භාවිතය දිරිගැන්වීම අත්‍යවශ්‍ය කරුණක් වුවද, එය සැලසුමකට අනුව සිදු කළ යුත්තක් බවත්, මෙවැනි අත්තනෝමතික කරුණු හරහා සිදුවන්නේ රසායනික පොහොර භාවිතය පවතින තත්ත්වයටත් වඩා අත්තනෝමතික තත්ත්වයකට පත්වීම බවත් ඒ අය අවධාරණය කරනවා. කෙසේ වෙතත් රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය මෙරටට ගෙන්වීම සම්පූර්ණයෙන්ම තහනම් කරන ලද ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කර සිටියේ රසායනික පොහොර තහනම් කළ ලොව පළමු රට බවට ශ‍්‍රී ලංකාව පත් කරන බවයි.

-Lankatruth

Exit mobile version