Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දිලිත්ගේ ජිම් පෙට්ටිය සහ සේල්ස් රෙප් ක්‍රීඩා ඇමති

අපිට කාලෙකට පස්සේ තරුණ ක්‍රීඩා ඇමති කෙනෙක් ලැබුණේය. හිටපු ක්‍රීඩා ඇමතිවරුන් එක්ක බැලුවම මේ ක්‍රීඩා ඇමතිතුමා youngster කෙනෙකි. ඒ වගේම “පිටියේ” ක්‍රීඩා කල කෙනෙකි. සරලව කියනවා නම් රග්බි ක්‍රිඩාවේ player කෙනෙකි. හිටපු ක්‍රීඩා ඇමතිවරුන් මෙන් නොව මෙතුමාට ක්‍රීඩාව නැංවීමේ plan එකක් ඇතැයි සමහරු කියති.
කොරෝනා සමඟ නව ජීවන රටාවේදී(new normal) ක්‍රීඩාව නැංවීම සඳහා කලයුතු ප්‍රමුඛතම කාර්යය වන්නේ ක්‍රිඩකයන්ගේ සික්ස්පැක්ස්(six pack) හැදීම යැයි අපේ තරුණ ක්‍රීඩා ඇමතිතුමා විශ්වාස කරයි. රටපුරා සෑම හන්දියකම කායවර්ධන මධ්‍යස්ථාන වැහි වැහැලා තිබුනත්, අපේ ක්‍රීඩකයන්ගේ සික්ස්පැක් නැතිවීම පිලිබද එතුමා හට බලවත් worry එකක් ඇත. මේ පිලිබඳව වැඩිදුර කල්පනා කරමින් සිටින විට එතුමාගේ මිත්තණිය සිහිනයකින් පැමිණ සුපිරි idea එකක් දි ඇත. ඒ අනුව වහාම ක්‍රියාත්මකවූ අපේ තරුණ ක්‍රීඩා ඇමතිතුමා ලියුමක් ලියාගෙන ගොස් සුපිරි අයිඩියා එක execute කරන්න කැබිනට් එකෙන් රුපියල් කෝටි 62.5 ක මුදලක් අනුමත කරගත්තේය. ඇමතිතුමාගේ මේ අයිඩියා එක පට්ටම පට්ට එකක් බව තේරෙන්නේ ඒකට වියදම් වන මුදල දිහා බැලුවාමය. ඒ මුදල රෝසි නෝනටත් තේරෙන බාසාවෙන් කියනවා නම් රුපියල් ලක්ෂ 6250 කි.
කොරෝනා අවුඅස්සේ මේසා විශාල මුදලක් වියදම් කර ක්‍රීඩා ඇමතිතුමා plan කරන්නේ ගමේ කොල්ලන්ට කෙල්ලන්ට සික්ස් පැක්ස් හදා ගන්න ජිම් කට්ටල 500 ක් බෙදා දෙන්නය. ඒවා එසේ මෙසේ ජිම් කට්ටල නොව කන්ටේනර් පෙට්ටියක දැමු ජිම් කට්ටලයකි. ගමේ ප්‍රජා ශාලාවේ මුල්ලක ගොඩගහල තියෙන මලකඩ කාපු dumbbell ටික වෙනුවට අලුත් කෑලි ටිකක් අරන් නොදී කන්ටේනර් පෙට්ටියක ජිම් එකක් මොටදැයි කරදරකාර පේවීපිකාරයන් අසනු ඇත. උන් new normal ගැන දන්නා බිබික්කමක් නැත. Carrier එකක දමා ගෙනියන ජිම් කන්ටේනර් පෙට්ටිය ගමේ කුඹුක් ලිඳ ලඟ බාගෙන crush එකට පේන්න සික්ස්පැක්ස් පුම්බන්න චාන්ස් එකක් ලැබෙනවා නම් එය පුණ්්‍යකර්මයකි.
ඒ අනුව ගත් කල අපේ තරුණ ක්‍රීඩා ඇමතිතුමාගේ මේ කන්ටේනර් ජිම් කට්ටල වැඩේ පට්ටම creative idea එකකි. කිසිම ලොන්තපෝල් ක්‍රිඩා ඇමති කෙනෙකුට හීනෙකින්වත් හිතා ගන්න බැරි novel concept එකකි.
ඒත් පොඩි අප්සෙට් එකක් නැතුවාම නොවේ. එනම් වැඩිදුරටත් සොයා බැලීමේදී මේ කන්ටේනර් ජීම් වැඩේට දැනටමත් අයිතිකාරයෙක් සිටීමයි. එයා එසේ මෙසේ පොරක් නොව ක්‍රීඩා ඇමතිගේ බාප්පිගේ බොක්කේ යාලුවෙක් වන කොම්බුව TV එකේ අයිතිකාරයායි.”Gym in a Box” නැමැති මාකටින් slogan එක සමඟ එයා මේ ජිම් කන්ටේනර් පෙට්ටි වැඩේ promote කරන්න පටන් ගෙන ඇත්තේ මේ ලඟදීමය. ඒවාගේම ජිම් කන්ටේනර් පෙට්ටි 500 ක් මිලදී ගැනිමට අපේ තරුණ ක්‍රිඩා ඇමතිතුමා රුපියල් ලක්ෂ 6250 ක් වෙන් කරගන්නේත් ලඟදීමය. මේ සිදුවීම් දෙක අතර සම්බන්ධයක් ඇතැයි සමහරු ඉරිසියාවට කියනු ඇත. ඒවා coincidence ය. ඒවා අතර සහ-සම්බන්ධයක් නැත.
අපේ තරුණ ක්‍රීඩා ඇමතිතුමාගේ මිත්තණීය සිහිනෙන් ඇවිත් කියලා තියෙන්නේ වෙන කෙනෙක් ගේ idea එකක් නේදැයි යැයි ඔබ සිතනවා ඇත.
ඇත්තෙන්ම ඇය සිහිනෙන් ඇවිත් අපේ තරුණ ක්‍රිඩා ඇමතිතුමාට පවසා ඇත්තේ “වැඩිම කොමිස් ඇත්තේ දිලිත්ගේ පෙට්ටියේ” කියාය.

-දෙව්මිත් රාජසිංහ

Exit mobile version