Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(VIDEO) “සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පත් වූ අවාසනාවන්තම කාල පරිච්ජේදය මෙයයි” – මුරුත්තෙට්ටුවේ හිමි

අලුතෙන් හැදූ කොරෝනා රෝහල්වල අත සේදීමට හෝ වතුර නොමැති බවත්, මේ තත්ත්වයෙන් ගියහොත් දැන් ඉන්දියාවට විසාලා මහනුවරක් යැයි කියනවා සේ ශ්‍රී ලංකාවත් විසාලා මහනුවරක් වන බවට කිසි ම සැකයක් නැති බවත් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවැසූහ.

උන්වහන්සේ මෙසේ පැවැසුවේ මැයි 3 නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී පැවැති රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ මාධ්‍ය හමුවේදීය.

වැඩිදුරටත් මාධ්‍ය හමුවේ අදහස් පළ කළ උන්වහන්සේ මෙසේද පැවැසූහ.
“1966 න් පසුව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පත් වූ අවාසනාවන්තම පරිච්ඡේදය මේ යැයි කනගාටුවෙන් හා අකැමැත්තෙන් වුව ද ප්‍රකාශ කිරීමට සිදු වී තිබෙනවා. අද සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තුළ යමක් අසන්න, යමක් කියන්න, යමක් දැනුවත් කරන්නට කෙනෙක් නැහැ. ඒ තරම් දුරට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අද අසරණ තත්ත්වයට පත් වී තිබෙනවා. ඒ වගේ ම අමානුෂික හා අකාරුණික භාවය අතිනුත් අද සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මුල්තැනක් ගෙන තිබෙනවා.

උපකරණ, ඇඳන්, කාමර, දැඩි සත්කාර ඒකක සොයන්නේ කොරෝනා රෝගය උත්සන්න වූ පසුවයි. මේ ගැන අපි කල් ඇතිව පවසා තිබුණා. මේ පුහුණුව පෙර සිට ම ලබා දෙන ලෙස අපි පවසා තිබුණා. දැන් හය මාසයක පුහුණුවක් ලබා දෙන්න බැහැ. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සෑමදා ම කළේ පැලැස්තර දැමීමයි. සෑම අඩුපාඩුවක් ම අපි කලින් ම පෙන්වා දුන්නා. අද සෞඛ්‍ය අමාත්‍යාංශය අනුගමනය කරන්නේ අදූරදර්ශී ක්‍රියාමාර්ගයක්. වැඩ කළ හැකි, තීන්දු ගත හැකි සියලු දෙනා එහාට මෙහාට මාරු කර වගකීමක් නැතිව කටයුතු කර තිබෙනවා. මේ දේවල් නිසා අද රෝහල් සේවය තුළ බොහො ම භයානක තත්ත්වයක් ඇති වී තිබෙනවා. දැන්වත් ටිකක් දුර බලන්න යැයි අපි සෞඛ්‍ය අමාත්‍යතුමියට කියනවා. සාකච්ඡා කරන දේවල් නොවෙයි ක්‍රියාත්මක වෙන්නේ.
ලංකාවේ සිටින්නේ හෙදියන් තිස් අට දහසක් වන අතර දැඩි සත්කාර ඇඳන් තිබෙන්නේ 761 වුවත් බී.එම්.ඩබ්ලිව්. වැනි සුඛෝපභෝගී වාහන දස දහසක් පමණ තිබෙනවා. එක් දැඩි සත්කාර ඇඳක රෝගියෙකුට ප්‍රතිකාර ලබාදීමට හෙදියන් පස් දෙනෙක් අවශ්‍ය වුවත් එම ප්‍රමාණය නැහැ. ඒ වගේ ම දැඩි සත්කාර පුහුණුව මාස හයක් ලබා දිය යුතු වුවත් සති දෙකක පුහුණුවක් ලබාදී ගමු යැයි අමාත්‍යතුමිය ප්‍රකාශ කර තිබුණා. මෙසේ රවට්ටන්න හදන්නේ කවුදැයි අපි අහනවා.

දැන් රෝගීන්ට ගෙදර ඉන්න කියනවා. මේක ඉන්දියාවක් නොකර අඩුපාඩු සොයා බලා පහසුකම් සකසන්න යැයි අපි කිව්වා. අලුතින් හදපු පොඩි කොවිඩ් රෝහල්වල අත සෝදන්න වතුර ටිකක්වත් නැහැ. මේවා හෙදියන්ගේ දුක් ගැනවිලියි.”

 

 

Exit mobile version