Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සිංහරාජ රක්ෂිත කලාපය විනාශ කරන්නන් එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලීමක්

සිංහරාජ රක්ෂිත වනාන්තර කලාපය තුළ සිදුවන නීතිවිරෝධී ක්‍රියාවන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් වී තිබේ.

පරිසර යුක්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා විසින් පෙත්සම ඉදිරිපත් කළ බව අප අධිකරණ වාර්තාකරු පැවසීය.

එහි වගඋත්තරකරුවන් ලෙස වනජීවී අමාත්‍යවරයා, එම අමාත්‍යංශයේ ලේකම්වරයා, වනජීවී සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්, පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා සහ නීතිපතිවරයා නම්කර තිබේ.

පෙත්සම්කරුවන් පවසන්නේ ජාතික උරුමයක් වශයෙන් නම්කර ඇති සිංහරාජ රක්ෂිත වනාන්තර කලාපය ආශ්‍රිතව තිබෙන පරිවාර රක්ෂිත කලාපය එළිකොට විවිධ නීතිවිරෝධී ඉදිකිරීම්, වගා කටයුතු සහ වෙනත් නීතිවිරෝධී ක්‍රියාවන් සිදුවන බවය.

එබැවින් සිංහරාජ රක්ෂිත කලාපය තුළ පවතින ජෛව විවිධත්වයට මෙන්ම සතුන්ට ද බරපතළ අගතියක් සිදුවන බව පෙත්සම්කරුවන් පවසයි.

එම නිසා අදාළ රක්ෂිත කලාපය තුළ සිදුවන නීතිවිරෝධී ක්‍රියාවන් හඳුනාගෙන ඊට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා එම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

Exit mobile version