Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නව කොවිඩ් රෝගීන්ගේ රෝග ලක්‍ෂණ බහුලයි, සංකූලතා රාශියක්

මෙරටින් පසුගිය කාලයේ හමුවූ කොවිඩ්-19 රෝගීන් බොහෝමයක් රෝග ලක්ෂණ නොපෙන්වූ නමුත් නව ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග හමුවන රෝගීන්ගේ රෝග ලක්ෂණ බහුලව දක්නට ඇති බවත්, සංකූලතා රාශියක් මතුවීම නිසා එම ආසාදිතයන් නිව්මෝනියා තත්ත්වයට පත්වීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ඇතැයි ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර අවධාරණය කරයි.

කොවිඩ්-19 රෝගීන් හඳුනා ගැනීමට මෙරටදී කරන පී.සී.ආර්. පරීක්ෂණවලින් දැනට පැතිර යන කොරෝනාවෛරස ප්‍රභේදයේ ඇතුළත් ‘S’ ජානය හඳුනා ගැනීම අපහසු බව අසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි.

දැනට සමාජගත වී ඇති කොරෝනාවෛරස ප්‍රභේදයේ ජාන විශ්ලේෂණ කටයුතු ඊයේ (27දා) ආරම්භ කෙරෙන අතර ඒ පරීක්ෂණ ප්‍රතිඵල දින 7ත් 10ත් අතර කාලයකදී ලබාදීමට අපේක්ෂා කරන බවත් හෙතෙම පවසයි. කොවිඩ් පළමු වන සහ දෙවන රැල්ල පැවැති කාලයේ පැතිරුණු වෛරසයට වඩා මේ වනවිට පැතිර යන නව වෛරසයේ පැහැදිලි වෙනස්කම් දක්නට ඇතැයි ද හෙතෙම ‘මව්බිම’ වෙත කරුණු දක්වමින් පෙන්වා දෙයි.

සෞඛ්‍ය අංශ කොතරම් නීති රීති පැනවුව ද ජනතාවගේ වගකීම වනුයේ මූලික සෞඛ්‍ය සංකල්පවලට අනුගත වීම බව පෙන්වා දෙන වෛද්‍යවරයා අවධාරණය කරනුයේ දෙදෙනෙකු අතර අඩුම තරමේ මීටර් දෙකකවත් පරතරයක් පවත්වා ගත යුතු බවය.
මුඛ ආවරණ නිරන්තරයෙන් පැළඳීම මෙන් ම අනවශ්‍ය කිසිදු ස්ථානයකට නොයා සිටීමට වගබලා ගත යුතු බව ද හෙතෙම පවසයි. මූලික සෞඛ්‍ය රීතීන්වලට අනුගත වීම තුළ මේ නව ප්‍රභේදය ව්‍යාප්ත වීම පාලනය කරගත හැකිවනු ඇතැයි ද හෙතෙම පවසයි.

Exit mobile version