Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

“ජනපති ගම සමග පිළිසඳරේ දී කිව්වේ බොරු” – දෑරංගල පාසලට අළුත් ගොඩනැගිල්ලක් නොලැබේ

ජනපති ගම සමග පිළිසඳරේ දී කිව්වේ බොරු.. දෑරංගල පාසලට අළුත් ගොඩනැගිල්ලක් නොලැබේ

ජනපති ගම සමග පිළිසඳරේ දී කිව්වේ බොරු.. දෑරංගල පාසලට අළුත් ගොඩනැගිල්ලක් නොලැබේ

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 27 වනදා මාතර පිටබැද්දර කිරිවැල්කැලේ ගම්මානයේ පැවති ගම සමග පිළිසඳරක් 16 වන වැඩසටහනේදී පාසල් සිසුවියක නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් එම පාසලේ (දෑරංගල මහ විදුහලේ) වැස්සට තෙමෙන දිරාගිය ගොඩනැගිලි වෙනුවට නව ගොඩනැගිල්ලක් ලබා දෙන බව ජනාධිපතිවරයා සඳහන් කළේය. ඒ අවස්ථාවේ රැස්කර සිටි ජනතාවගෙන් එයට උණුසුම් ප්‍රතිචාර හිමිවිය. එම ගම සමග පිළිසඳරේදී සියළු මාධ්‍ය වාර්තා කළ ප්‍රවෘත්තිය එයවිය.

නමුත් මේ වනවිට එම පාසලට අලුත් ගොඩනැගිල්ලක් වෙනුවට අබලන් වී ඇති ගොඩනැගිල්ලම ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු යොදමින් තිබේ.

ඒ සම්බන්ධයෙන් තම මුහුණුපොතේ සඳහනක් යොදමින් එම ආසනයේ ආණ්ඩු පක්ෂයේ සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ සඳහන් කරන්නේ පවතින තත්වයන් මත අලුත් ගොඩනැගිලි මේ වසරේ ඉදි නොකිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවයි.

එහෙත් පසුගිය 27 වනදා පැවති ගම සමග පිළිසඳරක් වැඩසටහනේදී ජනාධිපතිවරයා සඳහන් කරන්නේ මේ වසරේදී පාසල් ප්‍රතිසංස්කරණය යටතේ අලුත් ගොඩනැගිලි ඉදි කිරීමට මුදල් වෙන් කර ඇති බවයි. එම අවස්ථාවේ එහි සිටින අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කරන්නේ අදාළ පාසල් ප්‍රතිසංස්කරණය යටතේ අලුතින් ගොඩනැගිලි ඉදි කිරීම සඳහා මෙම පාසලද ඇතුළත් කර ඇති බවයි.

– LankaTruth

Exit mobile version