Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දේශපාලන පළිගැනීම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන යෝජනාව අප්‍රේල් 21දා මැතිසබයට

2015 ජනවාරි මාසයේ 8 වන දා සිට 2019 නොවැම්බර් මස 16 වන දා තෙක් කාල සීමාව තුළ ක්‍රියාත්මක වී ඇතැයි කියනු ලබන දේශපාලන පළිගැනීම් පිළිබඳව පරීක්ෂා කර තොරතුරු ලබාගැනීම සඳහා වන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ තීරණ සහ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන ලද යෝජනාව පාර්ලිමේන්තුවේ මීළඟ න්‍යාය පුස්තකයට හා සම්බන්ධ පරිපූරකයට ඇතුළත් කරන ලෙස පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය මගින් පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාගෙන් පසුගිය 09 වන දා ලිඛිතව ඉල්ලා ඇත.

ඒ අනුව, අප්‍රේල් මස 21 වන දා මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව සිකුරාදා (9දා) පස්වරුවේ නිකුත් කරන ලද පාර්ලිමේන්තුවේ අංක 3 දරන න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ ඇතුළත් කර ඇත. එය අප්‍රේල් 22 හා 23 දෙදින විවාදයට ගැනීමට බොහෝදුරට ඉඩ ඇතැයි ද වාර්තා වේ.

ඒ අනුව, 2015 ජනවාරි මස 08 සිට 2019 වසරේ නොවැම්බර් 16 වන දා දක්වා කාලය තුළ නිලතල දැරූ රජයේ නිලධාරීන්, රාජ්‍ය සංස්ථාවල සේවකයන්, සන්නද්ධ හමුදාවන්හි සහ පොලිස් සේවයේ සාමාජිකයන්ට වී ඇතැයි කියනු ලබන දේශපාලන පළිගැනීම් ගැන සොයා බැලූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ තීරණ හා නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනාව මේ අයුරින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

මීට අදාළව හිටපු අමාත්‍ය මණ්ඩල අනුමැතිය හා අති විශේෂ ගැසට් පත්‍රයද අග්‍රාමාත්‍යවරයාගේ එම යෝජනාව සමග පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය මගින් පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාට ඉදිරිපත් කර තිබේ.

එම යෝජනා සම්මතය අනුමත වීමෙන් පසුව දේශපාලන පළිගැනීම් කොමිසමේ වාර්තාව මගින් නිර්දේශ කර ඇති අසාධාරණ නඩු කටයුතු සම්බන්ධයෙන් තීරණ ගැනීමටත්, දූෂණ විරෝධී කමිටුවට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදුකිරීමටත් නීතිමය වලංගුභාවයක් හිමිවන බව ද වාර්තා වේ.

Exit mobile version