Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විශ්වාසය තියන්න පුළුවන් දේශපාලන චරිත මේ රටේ හිඟයි -පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි

වත්මන් දේශපාලන පක්ෂ තුළ විශ්වාසය තැබිය හැකි දේශපාලන චරිතවල හිඟයක් පවතින බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසයි. කොළඹ දී අදහස් දක්වමින් උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියේ, සෑම දේශපාලන පක්ෂයක් ම ආශ්‍රය කරන බැවින් ඔවුන් පිළිබඳ මනා අවබෝධයක් පවතින බවය.

අප්‍රේල් 21 වන දිනට පාස්කු ප්‍රහාරය එල්ල වී වසර 2ක් වැනි කාලයක් ගතව තිබුණ ද එයට සාධාරණයක් ඉටුවී නොමැති බැවින් බෞද්ධ ජනතාව ලෙස කිතුනුවන් වෙනුවෙන් රජයට කරුණු එළිදැක්විය හැකි බව ද උන්වහන්සේ වැඩිදුරටත් පැවසීය.

එසේ සාධාරණයක් ඉටුනොවුනහොත් බෞද්ධයින් ලෙස යම් යම් තීරණයන්ට එළඹීමට සිදුවන බව ද පැවසු උන්වහන්සේ රජය පුද්ගලයින් නොව රට ආරක්ෂා කිරීමට ඉදිරිපත් විය යුතු බව ද සඳහන් කළේය.

ප්‍රශ්නය – කාදිනල්හිමියන් දැඩි කණගාටුවකින් කතා කළා. ඒ පිළිබඳ ඔබ වහන්සේ හිතන්නේ කුමක් ද?

“වේදනාව, කලකිරීම සාධාරණයි. මොකද ගහක් යට ඉන්නවා නම් හෙවණක් තිබිය යුතුයි. හෙවණක් නැත්නම් කපුටෙක්වත් ඒ කිට්ටුව වහන්නේ නැහැ. කතෝලික ජනතාවට සෙවන දෙන මහා වෘක්ෂය කාදිනල්තුමා. එතුමා ඒ යුතුකම හරියට ඉටුකරගෙන යනවා.“

ප්‍රශ්නය – දැඩි ප්‍රකාශයක් කරනවා කාදිනල්තුමා හිටපු ජනාධිපතිවරයාට. ඔබ වහන්සේ මේ පිළිබඳ මොකද හිතන්නේ?

“මම දන්නා පරිදි නම් කොමිසමෙන් විශාල පිරිසකට චෝදනා තියෙනවා. ඒ නිසා චෝදනා තියෙන සියලුදෙනාට නඩු පැවරිය යුතුයි. එක පුද්ගලයෙක් පමණක් නෙමෙයි.

ප්‍රශ්නය – පසුගිය ආණ්ඩුවේ හිටපු අයත් මේ ආණ්ඩුවේ ඉන්නවා. ශ්‍රීලනිප යේ හිටිය සාමාජිකයින්, විශේෂයෙන් හිටපු ජනාධිපතිතුමා පවා ආණ්ඩුවේ ඉන්නවා. නීතිය ක්‍රියාත්මක කිරීමේ දී අඩියක් පස්සට ගන්න වෙයි ද?

“දේශපාලඥයින් ගැන අපිත් හොඳට දන්නවා. හැමදේශපාලන පක්ෂයක් ම අපිත් ආශ්‍රය කරනවා. ඇසුරු කරනවා. නමුත් මේ දේශපාලන කේෂ්ත්‍රය තුළ හැමකෙනෙක් ගැනම ප්‍රශ්නාර්ථයක් ඇතුව බැලිය යුතුයි. ක්‍රියා කළ යුතුයි. විශ්වාසය තියන්න පුළුවන් දේශපාලන චරිත හිඟයක් මේ රටේ තියෙනවා. ජනතාව අතරින් හරි ඉතා ඉක්මනින් දෙවැනි පෙළක් අනාගතය භාරදීම සඳහා හැදිය යුතුයි. එසේ නොමැති නම් මේ රටේ අනාගතය විනාශයි.“

ප්‍රශ්නය – විපක්ෂ නායකවරයා කියනවා, මේ ආණ්ඩුවට හිතක් පපුවක් නෑ කියලා.

“මොන ආණ්ඩුවට ද තිබුණේ මෙතෙක් කල්. හිතක් පපුවක් තියා කිසිදේක සැලකිල්ලක් නෑ. වචන හරඹය විතරයි. අම්බලන්ගොඩ රෑකඩ නටනවා වගේ රෑට රූපවාහිනිය දිහා බලන් ඉන්නකොට. එක්කෙනාට එක්කෙනා චෝදනා නඟා ගන්නවා. අපේ ප්‍රශ්නවලට විසඳුමක් නෑ. ඒ නිසා අපිට ඒවා වැඩක් නෑ. රඟපාන්න එන්න එපා බොරුවට අපිව රවට්ටන්න දැන් බෑ. අපි හොඳට තෙම්පරාදුවෙලා ඉන්නේ. බොරුවට වේදිකාවල කතා නොකර මේ ප්‍රශ්න විසඳන්න ඉදිරිපත්වෙන්න කියලා දේශපාලඥයින්ගෙන් ඉල්ලා සිටිනවා.“

Exit mobile version