Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බදු වශයෙන් ආදායම් දෙපාර්තමේන්තුවට රු. කෝටි 24ක අගරු චෙක්පත් දීලා

2020 දෙසැම්බර් 31 දින වන විට අගරු වූ චෙක්පත් 6,878 ක් දේශීය අදායම් දෙපාර්තමේන්තුවට ලැබී ඇතැයි පාර්ලිමේන්තුවේදී පැවැති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා) අනාවරණය විය.එහි වටිනාකම රුපියල් කෝටි 24කි. (රුපියල් 2,451,465,383)

කඩිනමින් එම මුදල් අය කර ගැනීමට කටයුතු කරන ලෙස කාරක සභාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට දැන්වීය.
මේ අතර, කැසිනෝ ව්‍යාපාරයේ හිඟ බදු රුපියල් මිලියන 2670ක් අය කර ගැනීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ මේ වන විට නඩු පවරා ඇති බවද කාරක සභාවේදී අනාවරණය විය.

මේ අතර 2010 අංක 16 දරන ගෙවීම් පැහැර හරින ලද බදු පියවීමේ (විශේෂ විධිවිධාන) පනතේ 12 වන වගන්තිය ප්‍රකාරව 2020 දෙසැම්බර් 31 වන දිනට ලබා දී ඇති හිඟ බදු විස්තරය අනුව අය කළ හැකි හිඟ බදු මුදල රුපියල් කෝටි 14,450 ක් පමණ ( රු.144,537,364,916 ) වූ බව ද කාරක සභාවේදී හෙළි විය.

මෙම කරුණු හෙළිවූයේ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කාරක සභාව රැස් වූ අවස්ථාවේදීය.

ආයතන 29 ක් ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතියට ඇතුළත් කර ගැනීමට කටයුතු කෙරේ. ඉන් ආයතන 06 ක් මේ වන විටත් මෙම පද්ධතියට එක්ව සිටින බව ද කාරක සභාවේදී අනාවරණය විය.

මෙම වසරේ දෙසැම්බර් 31 වැනිදා වන විට තවත් ආයතන 06 ක් ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතියට ඇතුළත් කර ගැනෙන බ වද මෙහිදී හෙළි විය.

මෙරට ක්‍රියාත්මක සියලු ම බැංකු ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතියට ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ලබා දිය යුතු බවට ද කාරක සභාව නිර්දේශ කළේය. ලංකා බැංකුව සහ මහජන බැංකුව තවත් මසකින් මෙම පද්ධතියට එකතු වීමට සූදානම් බව ද කාරක සභාවේදී සඳහන් විය.

Exit mobile version