Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

“තාත්තා එළි කළ ඉඩම හන්තාන රක්ෂිතයට අයිති එකක්” – ලක්ෂ්මන් කිරිඇල්ලගේ දියණිය පිළිගනී

තාත්තා එළි කළ ඉඩම හන්තාන රක්ෂිතයට අයිති එකක් - ලක්ෂ්මන් කිරිඇල්ලගේ දියණිය පිළිගනී

තාත්තා එළි කළ ඉඩම හන්තාන රක්ෂිතයට අයිති එකක් - ලක්ෂ්මන් කිරිඇල්ලගේ දියණිය පිළිගනී

යහපාලන ආණ්ඩුවේ හිටපු ඇමැතිවරයකු වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් හන්තාන අඩවියේ එළි පෙහෙළි කරන ලද අක්කර 08ක ඉඩම හන්තාන රක්ෂිතයට අයත් ඉඩමක් බව ඔහුගේ දියණිය නීතිඥ චමින්දරාණි කිරිඇල්ල මහත්මිය කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී (19) පිළිගත්තාය. හන්තාන රක්ෂිතයට අයත් ඉඩමක් ඉකුත් 2020 වසරේදී එළි පෙහෙළි කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය මේ බව පිළිගත්තාය.

සමඟි ජන බලවේගයේ කාන්තා සංගමය වන සමඟි වනිතා පෙරමුණ විසින් මේ මාධ්‍ය හමුව පැවැත්වූ අතර සිංහරාජ වනාන්තරය එළි පෙහෙළි කරන ලද බවට රූපවාහිනී වැඩසටහනකට එක් වෙමින් ප්‍රකාශයක් කිරීම හේතුවෙන් තර්ජනයට ලක්ව ඇතැයි කියන භාග්‍යා අබේරත්න නමැති තරුණියට සහාය වීම සඳහා මේ මාධ්‍ය හමුව සංවිධාන කර තිබිණි. මේ මාධ්‍ය හමුවට භාග්‍යා අබේරත්න ද සහභාගි වන බවට මාධ්‍ය දැනුම්වත් කර තිබුණද ඇය මේ අවස්ථාවට සහභාගි වූයේ නැත.

අදාළ ඉඩම 2010 ගැසට් පත්‍රයක් මඟින් හන්තාන රක්ෂිතයට ගැසට් කර තිබූ බවත් එහිදී නීතිඥ චමින්දරාණි කිරිඇල්ල මහත්මිය මෙහිදී කියා සිටියාය.

සිංහරාජයට අයත් ඉඩම රක්ෂිත ඉඩමක් බව කියමින් මාධ්‍ය හමුවක් පැවැත්වුවත් යහපාලන ආණ්ඩුවේ ඇමැතිවරයකු වූ ඔබේ පියා වන ලක්ෂ්මන් කිරිඇල්ල මහතාටත් රක්ෂිත එළි කළ බවට චෝදනා එල්ල වෙලා තිබෙනවා නේදැයි මාධ්‍යවේදියකු මෙහිදී ප්‍රශ්න කළේය.

ඊට පිළිතුරු දුන් නීතිඥ චමින්දරාණි කිරිඇල්ල මහත්මිය, “ඒ ඉඩම තම පියා වසර 30කට පමණ පෙර මිලදී ගත් ඉඩමක්. එය තමාට තෑගි ඔප්පුවකින් පිරි නැමුවා. එම ඉඩමේ විශාල ගස් වැවී තිබුණා. එම ඉඩමට ඇතුළු වීමට පමණක් මාන ගස් කිහිපයක් ඉවත් කළා“ යැයි කීවාය.

“ඔබ සිංහරාජයේ ඉඩම ගැන කතා කළ භාග්‍යා අබේරත්න තරුණිය වෙනුවෙන් පෙනී සිටින බව කියනවා. හන්තාන ඉඩමත් රක්ෂිත ඉඩමක් නෙවෙයි තමන්ට අයත් ඉඩමක් ඊට ඔප්පුවක් පවා තිබෙන බව ඔබ කියනවා. සිංහරාජ සිද්ධියට අදාළ ඉඩමත් පෞද්ගලික ඔප්පු තිබෙන ඉඩමක්ද කියා සොයා බැලීමක් කළාද?“ යනුවෙන්ද මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළේය.

“මගේ ඉඩමට යාබද ඉඩමේ ගොඩනැඟිලි පවා ඉදි කර තිබෙනවා. බලධාරීන් ඒ ගැන සොයා නොබැලීම කනගාටුවට කරුණක්. සිංහරාජ ඉඩම සම්බන්ධයෙන් විමසීමක් කර නැහැ. අප පෙනී සිටින්නේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්.‘‘ යැයිද කීවාය.

එහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කරමින් සිටි අවස්ථාවේදී චමින්දරාණි කිරිඇල්ල මහත්මිය නිරුත්තර වනු දැක ගත හැකි වූ අතර ඇයට සහාය වීමට අවස්ථාව ගනිමින් “ඉන්න ඉන්න මම පිළිතුරු දෙන්නම්. මම තමයි මාධ්‍ය සම්බන්ධීකාරක කාන්තා සමඟි පෙරමුණේ“ යැයි කියමින් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මිය අසුන් ගෙන සිටි අසුනින් ඇය නැඟිටවා එහි අසුන් ගෙන මාධ්‍යයට මෙසේ කියා සිටියාය.

“භාග්‍යා විජේරත්න කියන්නේ තරුණියක් ඇය උසස් පෙළ ලියූ දරුවෙක්. ඇයගේ මොළය මේ වගේ දේවල්වලට පිළිතුරු දෙන්න වැඩිලා නැහැ. අප සතුටු වෙනවා ඇයට තමා ජීවත් වෙන පරිසරයට ආදරය කරන්න බිය නැතිව මෙසේ පිළිතුරු දෙන්න ශක්තියක් තිබීම ගැන. ඇය කළ ප්‍රකශයෙන් පසු පොලිසියෙන් ප්‍රකාශ ගත් බව අප දුටුවා. ඇය වන සංරක්ෂණ නිලධාරීන් හෝ පිරිසක් ප්‍රශ්න කරන අවස්ථාවේදී හඬමින් පිළිතුරු දුන්නා. ඇයගේ නිවෙසේ සිටින සාමාජිකයන් පවා බියෙන් සිටින්නේ. රාජපක්ෂවරුන් ගැන දන්න නිසා ඔවුන් තැති ගැන්වී සිටිනවා. සිංහරාජයේ සිදුව ඇතැයි කියන වන සංහාරය ගැන පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කරන්න අප සූදානම්. මේ සම්බන්ධයෙන් භාග්‍යා අබේරත්න තරුණියට අවශ්‍ය රැකවරණ ලබා දෙන්න සූදානම් කියන්නයි අද මේ මාධ්‍ය හමුව කැඳවුවේ.“ මේ ප්‍රශ්නය ජාත්‍යන්තරයට ගෙන යන්න අප සූදානම් යැයි ඇය මෙහිදී කියා සිටියාය.

– SM

Exit mobile version