Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාස්කු කොමිසමේ සියලු වාර්තා – වෙළුම් නීතිපතිට බාර දෙයි

පාස්කු කොමිසමේ සියලු වාර්තා - වෙළුම් නීතිපතිට බාර දෙයි

පාස්කු කොමිසමේ සියලු වාර්තා - වෙළුම් නීතිපතිට බාර දෙයි

පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශන කළ ජනාධිපති කොමිෂන් සභාවේ සියලු වාර්තා වෙළුම් හා සාක්ෂි ලේඛන පිටුවක් අකුරක් නෑර නීතිපතිවරයාට බාර දුන් බව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්තා රෝහණධීර මහතා ඊයේ (12) පැවසීය. කොමිෂන් සභා වාර්තාවල වාරණය කිරීමට හෝ සැඟවීමට කිසිදු කරුණක් නොමැති බවත්, ජාතික ආරක්ෂාවට සම්බන්ධ කරුණු ඇතුළත් වෙළුම් 22ක් ජාතික ආරක්ෂක කවුන්සිලයේ අනුමැතියට යොමු කර තිබූ බැවින් එම නිර්දේශ ලැබෙන තෙක් බාරදීමට නොහැකි වූ බවත් පෙන්වා දුන් රෝහණධීර මහතා වෙළුම් බාරදීම කිසිසේත් ප්‍රමාද නොකළ බව පැවසීය.

කොමිෂන් සභා වාර්තාව අනුව වගඋත්තරකරුවන් හෝ සැකකරුවන් බවට නීතිපතිවරයා විසින් නම් කරන පුද්ගලයන් විදේශගතව හෝ රටින් පලා ගොස් ඇත්නම් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම දීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය කටයුතු කරන බවද, උදර්පන නීතිය යටතේ අවශ්‍ය ප්‍රතිපාදන සලසන බවද කීවේය.

කොමිෂන් සභාවේ වාර්තා පාර්ලිමේන්තුවට දුන්නා සේම මේ ජාතික ආරක්ෂාව සම්බන්ධ වෙළුම් නීතිපතිවරයාගේ නිර්දේශය මත පාර්ලිමේන්තුවට හෝ මහජනතාවට විවෘත කළ යුතුද යන්න තීරණය කරන බවත්, මේ රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධ වෙළුම් නඩු පැවරීමට නීතිපතිවරයාට යොමු කළ බවත් පෙන්වා දුන්නේය.

ඊයේ පස්වරුවේ පාස්කු කොමිසමේ සාක්ෂි ලේඛන ඇතුළත් වෙළුම් 22ක් නීතිපතිවරයාට බාරදීමෙන් පසු නීතිපති කාර්යාල පරිශ්‍රයේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් රෝහණධීර මහතා මෙසේද පැවසීය.

පාස්කු ප්‍රහාර විමර්ශන ජනාධිපති කොමිසමේ වාර්තා ජනාධිපතිවරයාට ලැබුණේ පෙබරවාරි 01 දින. ඒ වගේම සිංහල පිටපත් ලැබුණේ පෙබරවාරි 15 දින ඒ ලැබුණු වහාම අපි කැබිනට් මණ්ඩලයට ඊට පසුව කතානායකවරයාට පාර්ලිමේන්තුවට යොමු කළා. පසුව නීතිපතිවරයාට දුන්නා. අවසන් වාර්තාව නමුත් එම කොමිසමේ සභාපතිවරයා හා සාමාජිකයන් නම් කළ ජාතික ආරක්ෂාව සම්බන්ධ වෙළුම් 22ක් අද දින බාර දීම කළා. මොකද මේවා නඩු ගොනු කිරීමට අවශ්‍යයයි. මේ නිසා ප්‍රමාදයක් වූයේ යැයි කියන්න බැහැ. මොකද සංවේදී තොරතුරු නිදහස් කිරීමේදී යම් කාර්ය පටිපාටියක් තියෙනවා. ජනාධිපතිවරයා විසින් ආරක්ෂක කවුන්සිලයට මේ වාර්තා යොමු කරලා නිර්දේශ අරගෙන නීතිපතිවරයාට බාර දීලා තියෙනවා. එහිදී මේ වාර්තාවල රහස්‍ය භාවය රකින්න කියලා. ආරක්ෂක කවුන්සිලය දැනුම් දීලා තියෙනවා. ඉතිං නීතිපතිවරයාගේ නිර්දේශය මත ඉදිරියට කටයුතු සිදු වේවි. මේ වාර්තාවේ වෙළුම් 87ක් තිබෙනවා. මීට පෙර වෙළුම් 65ක් නීතිපතිවරයාට දුන්නා. අද දින තව 22ක් බාර දුන්නා.

මේ කොමිසම පත් කළේ හිටපු ජනාධිපතිවරයා 2019 සැප්තැම්බර් 21 දින. පසුව නව රජය පත් වුණාට පසු වත්මන් ජනාධිපතිවරයාට හැකියාව තිබුණා පනත ප්‍රකාරව මේ කොමිසමේ සංයුතිය වෙනස් කරන්න. නමුත් අති උතුම් කාදිනල්තුමා ප්‍රමුඛ පාර්ශ්ව කියා තිබුණා තව දුරටත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක විය යුතු බව. මා හිතන්නේ සාධනීය නිර්දේශ සමඟ හොඳ වාර්තාවක් කොමිසම දී තිබෙනවා. මේක අරගෙන ජාත්‍යන්තරයට යන්න ඕනා කියලා මම හිතන්නේ නැහැ. අපට මේ නීතිමය කටයුතු අපේ රටේම කරන්න පුළුවන්, නීතිය ක්‍රියාත්මක කිරීම ඇතුළු සාධනීය නිර්දේශ මෙහි තිබෙනවා.

මේ කොමිසමේ නිර්දේශ අනුව විශේෂ මහාධිකරණයක් පත් කර වැරදිකරුවන්ට දඬුවම් දිය යුතු බව පැවසෙනවා. දින පතා විභාග කළ යුතු බවද සඳහන් වෙනවා. මේ නිර්දේශ ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද යන්න නීතිපතිවරයාගේ අභිමතය පරිදි විය යුතුයි. ඊට අවශ්‍ය සියලු සහාය දීමට රජය හෝ ආණ්ඩුව පසුබට වන්නේ නැහැ. පාස්කු කොමිසම සම්බන්ධව පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ ලේකම්වරයා ලෙස ක්‍රියා කරනවා. අද එය රැස් වෙනවා. එම කමිටුවෙන් පාස්කු නිර්දේශ අඩු කිරීමට හෝ වෙනස් කිරීමට කටයුතු කරන්නෙ නැහැ. සිදු වන්නේ නීතිපතිවරයා නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා සේම මීට අදාළ යම් යම් රාජ්‍ය ආයතන තිබෙනවා. එම සම්බන්ධීකරණ කටයුතු මේ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවෙන් සිදු කරනවා පමණයි.

Exit mobile version