Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මියන්මාර විරෝධතා දරුණු අතට: අවුං සාන් සූ කීගේ පක්ෂ කාර්යාලයත් විනාශ කරයි

මියන්මාර විරෝධතා දරුණු අතට: අවුං සාන් සූ කීගේ පක්ෂ කාර්යාලයත් විනාශ කරයි

මියන්මාර විරෝධතා දරුණු අතට: අවුං සාන් සූ කීගේ පක්ෂ කාර්යාලයත් විනාශ කරයි

මියන්මාර හමුදාව විසින් අවුං සාන් සූ කී නායකත්වය දරන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ලීගයේ (NLD) ප්‍රධාන කාර්යාලය (9) රාත්‍රියේ විනාශ කර දැමූ බව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ලීගයේ නිල ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබේ.

එම පක්ෂ සාමාජිකයන් පවසන්නේ, හමුදාව විසින් පක්ෂ ප්‍රධාන කාර්යාලය වැටලීමෙන් අනතුරුව එය විනාශ කර දැමූ බවය.

මියන්මාරය පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙමින් පැවති මොහොතක මෙම වැටලීම සිදු කර තිබේ.
එම අවස්ථාවේ පක්ෂ සාමාජිකයන් කිසිවෙකු කාර්යාලය තුළ සිට නොමැති බව ද වාර්තා වේ.

මෙම මස පළමු වන දා අවුං සාන් සූ කී ඇතුළු දේශපාලන නායකයින් පිරිසක් මියන්මාර හමුදා භාරයට ගත් අතර එදින සිට මියන්මාරයට නැවතත් හමුදා පාලනයකට යටත් වීමට සිදු විය. එම සිද්ධියෙන් පසුව අවුං සාන් සූ කී නිදහස් කරන ලෙස ඉල්ලා දහස් ගණනක් මියන්මාර වැසියෝ වීදි බැස උද්ඝෝෂණවල නිරත වන්නට වූහ. මේ අතර හමුදා කුමන්ත්‍රණයට එරෙහිව සිදු කළ විරෝධතාවකදී කාන්තාවක් බරපතළ තුවාල ලබා ඇත.

එරට අගනගරය වන Nay Pyi Tawහි පැවති විරෝධතාවලදී පොලිසිය අහසට වෙඩි තබා ජනතාවට විසිර යන ලෙස අවවාද කර තිබේ.

නමුත් විරෝධතාකරුවන් පසුබැස යාම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔවුන්ව විසුරුවා හැරීම සඳහා පොලිසිය විසින් ජල ප්‍රහාර සහ රබර් උණ්ඩ ප්‍රහාර එල්ල කර ඇත. එම අවස්ථාවකදී කාන්තාවකට තුවාල සිදුව ඇති අතර Nay Pyi Tawහි රෝහලක වෛද්‍යවරයෙකු සඳහන් කර ඇත්තේ, අදාළ කාන්තාවගේ හිසට බරපතළ තුවාල සිදුව ඇති බවත් එය සජීවී උණ්ඩයක් හේතුවෙන් සිදු වූ තුවාලවීමක් බවත් ය. ඔවුන් පවසන්නේ පොලිසිය විසින් ජනතාවට වෙඩි ප්‍රහාර ද එල්ල කර ඇති බව ය.

මීට පෙර වසරවලදී හමුදා පාලනයට එරෙහිව එරට පැවති විරෝධතාවලදී විරෝධතාකරුවන් ඝාතනය වී තිබේ.

පසුගිය නොවැම්බර් මස එරට පැවති මැතිවරණයෙන් අවුං සාන් සූ කී නායකත්වය දරන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ලීගය ජයග්‍රහණය කළ අතර හමුදාව පැවසූයේ එම මැතිවරණය වංචනික එකක් බව ය.

ඒ පිළිබඳව එරට රජය සහ හමුදාව අතර පැවති මතභේදාත්මක තත්ත්වය උග්‍ර අතට පත්වීමෙන් පසුව හමුදාව විසින් අවුං සාන් සූ කී ඇතුළු දේශපාලඥයින් හමුදා භාරයට ගන්නා ලදී.

Exit mobile version