Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කුඹුක්කන්ඔය ජලාශ ව්‍යාපෘතියේ අයථා ක්‍රියා රැසක්

කුඹුක්කන්ඔය ජලාශ ව්‍යාපෘතියේ අයථා ක්‍රියා රැසක්

කුඹුක්කන්ඔය ජලාශ ව්‍යාපෘතියේ අයථා ක්‍රියා රැසක්

යහපාලන ආණ්ඩු සමයේ කුඹුක්කන්ඔය ජලාශ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී අක්‍රමිකතා රැසක් සිදුව ඇති බව විශේෂ විගණන වාර්තාවකින් හෙළිදරවු කොට තිබේ. ව්‍යාපෘතියේ මූලික කටයුතු හෝ ආරම්භ කිරීමට මත්තෙන් රුපියල් ලක්ෂ 1,085ක මුදලක් වැය කර ඇති බව මේ විගණන වාර්තාවෙන් හෙළිදරවු කර ඇත.

මූලික කටයුතු ආරම්භ කිරීමට පෙර රුපියල් ලක්ෂ 110ක්, මූලික ඇගයීම් වාර්තා හෝ අනුමත කිරීමට පෙර යටිනිම්න සංවර්ධන කටයුතු සඳහා රුපියල් ලක්ෂ 860ක් සහ ව්‍යාපෘතියට අදාළ නොවන කාර්යයන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 115ක පමණ මුදලක් වැය කර ඇති බව වාර්තාවේ දැක්වේ.

ව්‍යාපෘතියට වෙන් කරන ලද මුදල් එහි කටයුතු ආරම්භ කිරීමටත් පෙර අවිධිමත් ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් වගකිවයුතු පුද්ගලයන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත යුතු බවත් විගණකාධිපතිවරයා විසින් කරන ලද මේ වාර්තාවෙන් නිර්දේශ කර ඇත.

එසේම 2017 ජනවාරි මස 27 වැනි දින පවත්වා ඇති කුඹුක්කන්ඔය සමාරම්භක උත්සවය සඳහා පමණක් රුපියල් ලක්ෂ 200කට අධික මුදලක් වැය කර ඇති බවත් විශේෂ විගණන වාර්තාවෙන් හෙළිදරව් කොට ඇත.

ව්‍යාපෘතියට අදාළ මූලික වාර්තා වන පරිසර වාර්තාව, සමාජ බලපෑම් ඇගයීම් වාර්තාව හා ශක්‍යතා අධ්‍යයන වාර්තා ඇගයීමටත් පෙර සමාරම්භක උත්සවය පවත්වා ඇති අතර ඒ වන විටත් කොන්ත්‍රාත්කරු තෝරාගෙන නොතිබූ බවත් විගණනයේදී නිරීක්ෂණය වී තිබේ.

සමාරම්භක උත්සවයට ශිලාමය සමරු ඵලක සකස් කිරීම සඳහා රුපියල් ලක්ෂ 11 ඉක්මවූ මුදලක් ගෙවා තිබූ අතර කුඹුක්කන්ඔය ව්‍යාපෘතියට අයත් නොවන කොලැල්ලාවත්ත ජලාශ ව්‍යාපෘතියේ ආරම්භක උත්සවය වෙනුවෙන් සකස් කළ සමරු ඵලක දෙකක වියදමද ඇතුළත් කර තිබේ.

කුඹුක්කන්ඔය වේල්ලට ඉහළින් බුත්තල – මොනරාගල මාර්ගය සහ කුඹුක්කන්ඔය හමු වන ස්ථානයේ සිට කිලෝමීටර් 13.4ක් ඉහළින් ජලය ඝන මීටර් මිලියන 48 ධාරිතාවකින් යුත් ජලාශයක් ඉදිකිරීම සඳහා 2011 සැප්තැම්බර් මස 28 වැනි දින කැබිනට් අනුමැතිය හිමිව ඇත.

මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම චයිනා නැෂනල් හෙවි මැෂිනරි කෝපරේෂන් නම් චීන සමාගමට 2018 වසරේ මාර්තු මස 30 වැනි දින පවරා ඇතත් 2019 වසරේ දෙසැම්බර් දක්වාම ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කර නැත.

මේ ව්‍යාපෘතියේ සමස්ත වියදම රුපියල් කෝටි 3239.7ක් ලෙස ඇස්තමේන්තු කොට තිබූ අතර කොන්ත්‍රාත්කරු තෝරා ගැනීමේදී විධිමත් ආකාරයෙන් කටයුතු කර නොමැති බවත් එහි දැක්වේ.

Exit mobile version