Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කිරි අවශ්‍යතාව දේශීයව සපුරාගැනීම සඳහා නව කිරි ගොවිපළවල් ඇති කිරීමට ආයෝජකයන්ට ඉඩම්

කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට ඇමරිකාවේ IESC ආයතනයේ සහාය

කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට ඇමරිකාවේ IESC ආයතනයේ සහාය

මෙරට කිරි අවශ්‍යතාව දේශීයව සපුරාගැනීම සඳහා නව කිරි ගොවිපළවල් ඇති කිරීමේ ව්‍යාපෘතියට අදාළව ආයෝජන මණ්ඩලය විසින් තෝරාගත් ආයෝජකයන්ට අවශ්‍ය ඉඩම් ලබාදීමේ කටයුතු අදාළ අමාත්‍යංශ සමඟ සාකච්ඡා කර කඩිනමින් සිදු කරන්නැයි ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධන බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවකට එක්වෙමින් බැසිල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය. කිරි ගොවිපළ සඳහා ඉඩම් ලබාදීම ආයෝජන මණ්ඩලය හා මහවැලි අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුකරන ලෙසත් ලබන වසරේ පළමු මාස තුන වනවිට නව කිරි ගොවිපළවල් ඇති කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු බවත් බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

කුඩා පරිමාණයේ කිරි ගොවියන් නඟාසිටුවීම සඳහා 2021 අයවැය තුළින් විශාල මුදලක් වෙන්කර තිබෙන බවද ඒ මහතා පැවසීය.

දේශීය කිරි නිෂ්පාදන අවශ්‍යතාවයෙන් සියයට 85කට වැඩි ප්‍රමාණයක් කුඩා පරිමාණ සහ මධ්‍යම පරිමාණයේ දේශීය කිරි ගොවිපළ මඟින් නිපදවන අතර ඔවුන්ට අමතරව නව මහා පරිමාණ කිරි නිෂ්පාදකයින් බිහිකිරීම මෙම වැඩපිළිවෙළ යටතේ බලාපොරොත්තු වෙයි. එමෙන්ම ඒ තුළින් ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු පැටවුන් සුළු හා මධ්‍ය පරිමාණ කිරි ගොවීන්ට ලබාදීමට ද අපේක්ෂා කරයි.

මෙහිදී ආයෝජන මණ්ඩලය හරහා ආයෝජකයින්ට සහන සහ දිරිගැන්වීම් කෙරෙන අතර මේ යටතේ සිසිල් දේශගුණික ප්‍රදේශවලින් ගොවිපළ පවත්වාගෙන යාමට අවශ්‍ය ඉඩම් වැවිලි සමාගම් විසින් ලබාදීමට එකඟතාවය පළකර ඇත. වියළි දේශගුණික ප්‍රදේශවලින් සත්ව ආහාර සඳහා අවශ්‍ය කෙරෙන බඩ ඉරිගු සහ තෘණ වර්ග වගාකිරීම සඳහා රජයේ සහ මහවැලි අධිකාරිය සතු ඉඩම් ලබාදීමට ද නියමිතය.

මෙරට ඉදිරි අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය බඩ ඉරිගු මහ කන්නයේ දී වගාකර ඇති බව ද මෙහිදී සඳහන් කෙරිණි. ඉදිරි වසර කිහිපය ඇතුළත මෙම ඉලක්කය සපුරා ගැනීමේ අරමුණින් නව ආයෝජකයින් කිරි නිෂ්පාදනය සඳහා යොමු කිරීමට රජය බලාපොරොත්තු වන අතර ඒ අනුව මධ්‍යම පළාත කේන්ද්‍ර කර ගනිමින් වැවිලි සමාගම්වල දායකත්වයෙන් නව කිරි ගොවිපළ 10ක් ඇතිකිරීමට නියමිතයි.

මෙම සාකච්ඡාව සඳහා කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය ඇමැති ඩී.බී.හේරත් මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරින් පිරිසක් සහභාගි වූහ.

Exit mobile version