Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොළඹ මහ නගර සීමාවේ PCR පරීක්ෂණ 19%ක් පොසිටිට් – GMOA

හොර දොස්තරලා 40,000ක් - රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය

හොර දොස්තරලා 40,000ක් - රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය

කොළඹ මහ නගරසභා බල ප්‍රදේශය තුළ මෙතෙක් සිදුකර ඇති PCR පරීක්ෂණ 36521කදී කොවිඩ් ආසාදිතයින් 6992ක් හඳුනාගන්නට හැකිවී ඇති බවත් මෙය ප්‍රතිශතයක් වශයෙන් ගත් කල 19%ක් වන අතර එය සැලකිය යුතු විශාල අගයක් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

“අපට පැහැදිලි වෙන කාරණය තමයි රටපුරා විවිධ ප්‍රදේශවල යම් අවදානම් සහ සංකීර්ණ තත්වයක් මේ වෙනකොට නිර්මාණය වෙලා තියෙනවාය කියන කාරණය. මීට කලින් අපි අඩු අවදානම් ප්‍රදේශ විදියට හඳුන්වපු තැන්වල පවා – විශේෂයෙන් නැගෙනහිර පළාතේ තැන් අපි මේ දක්වාම අඩු අවදානම් තැන් හැටියට තමයි හඳුනාගෙන තිබ්බෙ, නමුත් ඒ තැන්වලත් යම් ආකාරයකට රෝගී පොකුරු නිර්මාණය වීම සඳහා ඉඩකඩක් මේ වනකොට ඇති වෙමින් තියෙනවා.

ඒ නිසා මේ මොහොතෙදි අපි මේ හඳුනාගෙන තියෙන ප්‍රදේශවල රෝගය ප්‍රශස්ත ලෙස කළමනාකරණය කරගනිමින් ඉස්සරහාට යාම සහ ඒ හරහා ඒ ප්‍රදේශ ඇතුළෙදි රෝගය පාලනය කරලා එයින් එළියට රෝගය ව්‍යාප්ත වෙලා සමස්ත රට තුළ අවදානම් තත්වයක් මතුවෙන එක වැළැක්වීම තමයි අපට තියෙන ප්‍රධානම අභියෝගය.

එතනදි විශේෂයෙන්ම මේ කොළඹ මහ නගරසභා සීමාව අතිශයින්ම වැදගත් වෙනවා. මොකද සමස්තයක් විදියට රටේ සිද්ධ වෙලා තියෙන මරණ සංඛ්‍යාව ගත්තත් ඒ මරණවලින් සීයට පනහක් විතර – දැන් ඒ දවස්වල කොළඹ නගරාධිපතිතුමියම කිව්ව විදියට – සමස්ත මරණවලින් 47%ක් විතරම සිද්ධ වෙලා තියෙන්නෙ කොළඹ මහ නගරසභා සීමාව ඇතුළෙ.

එතකොට කොළඹ මහ නගරසභා සීමාව ඇතුළෙ අපි දැක්කා ජනමාධ්‍යත් සඳහන් කරනවා සමස්තයක් විදියට මේ වෙනකොට PCR පරීක්ෂණ 36000ක් විතර කරලා තියෙනවා. ඒකෙන් 6000කට වැඩි සංඛ්‍යාවක් රෝගීන් බව හඳුනාගෙන තියෙනවා. සංඛ්‍යාත්මකව ගත්තොත් 36521ක් කරනකොට 6992ක්, ඒ කියන්නෙ සමස්තයෙන් කරපු PCR පරීක්ෂණ වලින් 19%ක් වගේ පොසිටිව් වෙලා තියෙන්නෙ. සමස්ත ජනගහණයේ නියැදියක් හැටියට ගත්තොත් ඒ කරපු PCR ටික 19%ක් පොසිටිව්. මේක සැලකිය යුතු විශාල අගයක්” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

මෙවැනි තත්වයක් බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයෙන් ද වාර්තා වන බව පැවසූ ඒ මහතා පසුගිය දිනවල කළ පරීක්ෂණ අනුව ඇතැම් අවස්ථාවල 25%ක පමණ ප්‍රතිශතයක් පොසිටිව් වීමේ ප්‍රවණතාවක් එහිදී ද දැකගත හැකිවූ බවත් සඳහන් කළේය. එසේම මුලදී එම ප්‍රදේශයේ ජනතාවගේ සහයෝගය මෙම පරීක්ෂණ කටයුතු සඳහා අවම තත්වයක් දක්නට ලැබුණත් මේ වනවිට එම ප්‍රජාවගේ නායකයින්ගේ මැදිහත්වීම තුළ ඉතා හොඳ මට්ටමේ සහයෝගයක් ජනතාවගෙන් ලැබෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව අටළුගම කොවිඩ් තත්වය පාලනය කරගැනීම කෙරෙහි ද බලධාරීන්ගේ දැඩි අවධානයක් යොමුවිය යුතු බවත් ඒ මහතා අවධාරණය කළේය.

වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව පැවසුවේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනක් හා සම්බන්ධ වෙමිනි.

Exit mobile version