Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලංගම මගීන්ට කොරෝනා රක්ෂණයක් – ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය

ලංගම දෛනික ආදායම මිලියන 25කින් ඉහළට

ලංගම දෛනික ආදායම මිලියන 25කින් ඉහළට

ලංකා ගමනාගමන බස් රථයකින් ගමන් ගන්නා පුද්ගලයකුට එම බස් රථය තුළින් කොවිඩ්-19 ආසාදනය වුවහොත් එම ආසාදිතයාට රුපියල් 10,000ක මුදලක් සහ යම් හෙයකින් එම රෝගයෙන් මරණයට පත් වුවහොත් රුපියල් 50,000ක මුදලක් ගෙවීමට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය තීරණය කර තිබේ.

එලෙස ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන්ට සහන සැලසීමේ අරමුණින් ‘කොවිඩ් සහන රක්ෂණ අරමුදල‘ නමින් විශේෂ අරමුදලක් පිහිටුවීමට තීරණය කළ බව එහි සභාපති නීතිඥ කිංස්ලි රණවක මහතා ඊයේ (25) පැවසීය.

ලංගම බස් රථවලින් ගමන් ගන්නා මගීන් තමන්ගේ ටිකට් පත ළඟ තබා ගැනීම අනිවාර්ය වන බවත් යම් හෙයකින් කොවිඩ් ආසාදිතයකු බවට පත් වුවහොත් තමා සතු ටිකට් පත ඉදිරිපත් කළ යුතු බවත් රණවක මහතා ප්‍රකාශ කළේය.

එම තැනැත්තාට හෝ තැනැත්තියට කොවිඩ් ආසාදනය වූයේ ලංගම බස් රථයක් තුළින් බව කොවිඩ් බළකාය, ලංගම බුද්ධි අංශය, සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් සහ වෛද්‍යවරුන් මගින් තහවුරු කළහොත් ඔහු හෝ ඇයට මේ අරමුදල මඟින් අදාළ ගෙවීම සිදු කරන බව සභාපතිවරයා පැවසීය.

ලංගම බස් රථය තුළින් කොවිඩ් වයිරසය ව්‍යාප්ත වීම සිදු නොවීමට සියලු සෞඛ්‍ය විධි විධාන අනුව මගීන් ප්‍රවාහනය සිදු කළ යුතු බව සියලු රියැදුරන්ට, රියැදුරු සහායකයන් ඩිපෝ කළමනාකරුවන් මගින් දැනුවත් කර ඇති බව පැවැසූ සභාපතිවරයා යම් අතපසුවීමකින් යම් පුද්ගලයකුට කොරෝනා වයිරසය ආසාදනය වුවහොත් ඒ අය සඳහා සලසන රක්ෂණ ක්‍රමවේදයක් සහ ඊට සහනයක් ලෙස මේ කොවිඩ් සහන රක්ෂණ අරමුදල පිහිටවූ බව කියා සිටියේය.

Exit mobile version