Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2025වන විට සමස්ත ණය ප්‍රමාණය 75% දක්වා අඩු කිරීම රජයේ ඉලක්කය – අගමැති

අගමැතිවරයාගේ නිල නිවාසය නවීකරණයට රුපියල් කෝටි 13ක්

අගමැතිවරයාගේ නිල නිවාසය නවීකරණයට රුපියල් කෝටි 13ක්

2025 වසර වන විට ආදායම් වියදම් පරතරය සියයට හතර දක්වා අඩු කිරීම මෙන්ම සමස්ත ණය ප්‍රමාණය සියයට හැත්තෑපහ දක්වා අඩු කිරීම රජයේ ඉලක්කය බව මුදල් ඇමැති, අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (12) ප්‍රකාශ කළේය. අපනයනය මෙන්ම මෙරට නිපදවිය හැකි ආනයනයන් අවම කිරීමත් නිෂ්පාදන ආර්ථිකය කෙරෙහි ප්‍රමුඛතාව දෙමින් රාජ්‍ය මූල්‍ය වගකීම ඉටු කිරීමට රජය කැප වී කටයුතු කරන බවද අගමැති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

සෘණ ආර්ථිකය ධනාත්මක සියයට 6ක ඉහළ වර්ධන වේගයකට නංවා ගැනීම පමණක් නොව එයට සමගාමීව දුප්පත්කම තුරන් කිරීම සඳහා සිදු කළ හැකි සියලු ප්‍රතිසංස්කරණ වත්මන් රජය සිදු කරන බව ද අගමැතිවරයා පැවැසීය.

එමෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞභාග්‍යෙය් ඉදිරි දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරමින් නවින ආර්ථිකයක් රට තුළ ඇති කිරීම සඳහා ඉදිරිපත් කරන යෝජනා 2021 අය-වැය මඟින් ලබන 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ 2020 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ වත්මන් රජයේ අය-වැය ප්‍රතිපත්තියේ අන්තර්ගතය වන්නේ පසුගිය වසර පහ තුළ සිදු වූ විනාශකාරී සමාජ හා ආර්ථික ගමන් මඟ වෙනස් කිරීම බවයි.

රටේ ආර්ථික ස්වාධීනත්වය ඇති කිරීම සඳහා පසුගිය රජය අනුගමණය කළ විනාශකාරි ආර්ථික ගමන් මගෙන් ඉවත්වීම අත්‍යවශ්‍යයෙන්ම සිදුකළ යුතු බව ද අගමැතිවරයා පැවැසීය.

අභියෝග රැසක් මධ්‍යයේ වුව ද 2020 වර්ෂය තුළ වත්මන් රජය ඉටුකළ කාර්යභාරය ඉතා විශාල වන අතර ඉන් ප්‍රධාන ව්‍යාපෘතියක් වන්නේ රැකියා විරහිතව සිටි උපාධිධාරීන් 60,000කට අධික පිරිසකගේ රැකියා ප්‍රශ්නය විසඳීම බව අගමැතිවරයා පැවැසීය.

එමෙන්ම දිළිඳුම පවුල් ලක්ෂයක් ඉලක්ක කර ගනිමින් රැකියාදීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක අතර ඒ යටතේ 40,000කට ආසන්න පිරිසකට රැකියා ලබාදී අවසන් අතර මෙම වසර නිමවීමට පෙර රැකියා ලක්ෂයේ ඉලක්කය සපුරාලීම අරමුණ බව ද අගමැති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

Exit mobile version