Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාස්කු ප්‍රහාර වූ දින ප්‍රතිකාර ලැබූ සිංගප්පූරු රෝහලේ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන්නැයි මෛත්‍රීට නියෝග

වරදකරුවකු වු‍ණොත් දඬුවම් විඳීමට සූදානම් - හිටපු ජනාධිපති

වරදකරුවකු වු‍ණොත් දඬුවම් විඳීමට සූදානම් - හිටපු ජනාධිපති

පාස්කු ඉරුදින ත්‍රස්තවාදී ප්‍රහාර මාලාව එල්ල වන අවස්ථාවේ සිංගප්පූරුවේ රෝහලක රැඳී සිටිමින් ප්‍රතිකාර ගැනීමට අදාළ වෛද්‍ය වාර්තා ජනාධිපති කොමිසමට ඉදිරිපත් කරන ලෙස පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට 23 වනදා නියෝග කළේය.

ඒ පාස්කු ප්‍රහාරය එල්ල වූ දින සහ ඊට පෙර දින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා අතර පැවැති දුරකතන සම්බන්ධතාවන් සම්බන්ධයෙන් අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් වෙනුවෙන් කොමිසම හමුවේ පෙනී සිටින ජනාධිපති නීතිඥ ශම්ල් පෙරේරා මහතා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලට අදාළව ඊයේ කොමිසම හමුවේ ඇති වූ ප්‍රශ්නගත වූ අවස්ථාවේදීය. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදු වූ 2019 අප්‍රේල් 21 දා ප්‍රහාරය එල්ලවීමට මිනිත්තු 46කට පෙර සිංගප්පුරුවේ සිටි හිටපු ජනාධිපතිවරයාවරයා එවකට මෙරට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාට දුරකතන ඇමතුමක් ගෙන ඇති බව ජනාධිපති කොමිසමේදී ඊයේ අනාවරණ විය.

ප්‍රහාරයට පෙර අප්‍රේල් 21වනදා උදෑසන 7.59 ට හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා සමඟ දුරකථන සංවාදයක් සිදු කළ බවට එම ඇමතුම්වලට අදාළ දුරකථන වාර්තා ඉදිරිපත් කරමින් කාදිනල් හිමිපාණන් වෙනුවෙන් ප්‍රශ්න කළ ජනාධිපති නීතිඥ ශම්ල් පෙරේරා මහතා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යෝජනා කළ අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා එම යෝජනාව ප්‍රතික්ෂේප කරන බව කොමිසමට කියා සිටියේය.එම යෝජනාව අසත්‍ය යෝජනාවක් බවද ඒ මහතා කියා සිටියේය.නිලන්ත ජයවර්ධන මහතා සමඟ සම්බන්ධ වූයේ ප්‍රහාරයෙන් පසුව බව කියා සිටි ඒ මහතා ශ්‍රී ලංකාවේ වෙලාවෙන් පැය දෙක හමාරක වෙනසක් සිංගප්පූරු වෙලාවේ පවතින බවත් කීවේය.

මම රෝහල් ඇතුළේ සිටියේ. අවශ්‍ය නම් වෛද්‍ය වාර්තා දෙන්න පුළුවන්. රෝහල ඇතුළේ සිට මාව හෝටලයට ගෙනාවා. මේ සිද්ධියේ බරපතළකම මත සිටයි මම අපහසුවෙන් වුණත් දුරකථනයෙන් උපදෙස් දුන්නෙ යැයිද ඒ මහතා කීවේය.

ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා-පාස්කු දා පළමු ප්‍රහාරය පෙරවරු 8.45 ට සිදු වී දෙවන ප්‍රහාරය සිදුවීමට මිනිත්තු 23කට පෙර එනම් පෙරවරු 8.58 වනවිට නිලන්ත ජයවර්ධන මහතා විදේශගතව සිටි ඔබට දුරකථන ඇමතුමක් ගෙන තිබෙනවා නේද හිටපු ජනාධිපතිතුමා

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා-මට මොන ප්‍රහාරයට පෙරද කියා ඒ අවස්ථාව වනවිට මතක නැහැ.

ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා-අප්‍රේල් 21 පෙරවරු 9.13ට නැවතත් තත්පර 184ක ඇමතුමක් නිලන්තට ඔබතුමා ගෙන තිබෙනවා නේද හිටපු ජනාධිපති තුමා

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා-මට සිද්ධිය වාර්තා වුණාම අසනීප තත්ත්වයේ සිටියත් ඇමතුම් ලබා ගෙන අවශ්‍ය උපදෙස් දුන්නා.

අප්‍රේල් 21 ප්‍රහාරය දා රාත්‍රියේ මෙරටට පැමිණීමට ගුවන් යානයක් වෙන් කරගන්න පුළුවන් වුණාද

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා-වෛද්‍ය වාර්තා දෙන්න පුළුවන්.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ මෙරට විධායක ජනාධිපතිවරයා, ආරක්ෂක අමාත්‍යවරයා සහ නීතිය හා සාමය විෂය භාර අමාත්‍යවරයාවට සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ වනදා 06 වන දිනටත් ජනාධිපති කොමිසමට පැමිණි අතර එහිදි අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නියෝජනය කරමින් ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා හරස් ප්‍රශ්න විමසුවේය.

-සුභාෂිණී සේනානායක | dinamina-

Exit mobile version