Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නිල් මැණිකකින් නිර්මාණය කරන ලද පෞරාණික බුදු පිළිමයක් කෝටි 600 කට විකුණන්න යද්දී අල්ලයි

නිල් මැණිකකින් නිර්මාණය කරන ලද පෞරාණික බුදු පිළිමයක්

නිල් මැණිකකින් නිර්මාණය කරන ලද පෞරාණික බුදු පිළිමයක්

නිල් මැණිකකින් නිර්මාණය කරන ලද පෞරාණික වටිනාකමක් යුත් අඟල් දෙකක පමණ වූ බුදු පිළිමයක් රුපියල් කෝටි 600 මුදලකට විකිණීම සඳහා සූදානම් වූ හිමි නමක් ඇතුළු පුද්ගලයන් සිව්දෙනකු මොණරාගල කුඹුක්කන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
මොණරාගල කොට්ඨාස අපරාධ අංශයේ නිලධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබීය.සැකකරුවන් පැමිණි නවීන පන්නයේ මෝටර් රථයක්ද පොලීසිය භාරයට ගෙන ඇත.
ලද තොරතුරක් මත වෙස්වලාගෙන ගිය පොලිස් නිලධාරීන් තිදෙනෙකු මුදල් ලබා දී බුදු පිළිමය මිලදී ගන්නා අවස්ථාවේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් හිමිනම අනුරාධපුරය, වහමැල්ගොල්ලෑව ප්‍රදේශයේ විහාරස්ථානය සිටින හිමිනමකි. සැකකරුවන් දෙදෙනෙකු කාලතුවක්කු රෙජිමේන්තුවේ සහ විජයබා රෙජිමේන්තුවේ සේවය කරන රඹෑව, මහකනදරාව පදිංචි දෙදෙනෙකි.

අනෙක් සැකකරු පරිගනක ඩිප්ලෝමාධාරියෙකු වන අතර ඔහු මුරුතලාව, පිලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පොලිස්බාරයට ගත් බුදු පිළිමය බර ග්‍රෑම් 37 මිලි ග්‍රෑම් 200 වේ.උස සෙන්ටිමීටර් 05 කි.පළල සෙන්ටි මීටර් 2.1.ඝනකම සෙන්ටිමීටර් 1.5 කි. මෙම බුදු පිළිම වහන්සේ නිල් මැණිකකින් නිර්මාණය කළ නිධානයක තිබූ එකක් බව සැකකරුවන් පවසා ඇත.

වටිනාකම නිසි ලෙස තවමත් ගණනයක කළ නොහැකි බව පොලීසිය සඳහන් කරයි. එම බුදු පිළිමය බුත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු නිධානයකින් ගත් බවට තොරතුරු ලැබී ඇති අතර ඔවුන් ප්‍රදේශයෙන් පළාගොස් ඇතැයි පොලීසිය කියයි.

අත්අඩංගුවට ගත් බුදු පිළිමය ටොයෝටා වර්ගයේ මෝටර් රථය සහ සැකකරුවන් මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

-lankadeepa-

Exit mobile version