Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රාජිත සේනාරත්නගේ වැඩ සොයන්න පංච පුද්ගල කමිටුවක්

රාජිත සේනාරත්න

රාජිත සේනාරත්න

හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව දේශපාලනීකරණය කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පංච පුද්ගල ස්වාධීන කමිටුවක් පත් කිරීමට සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තීරණය කරයි.

මහාචාර්ය හේමන්ත පෙරේරා, මහාචාර්ය ප්‍රශාන්ත විජේසිංහ, විශේෂඥ වෛද්‍යරුන් වන අනුලා විජේසුන්දර, මෛත්‍රී චන්ද්‍රරත්න, දර්ශන සිරිසේන මහත්ම මහත්මීන්ගෙන් මෙම පංච පුද්ගල ස්වාධීන කමිටුව සමන්විත වේ.

මෙම කමිටුව පත් කිරීමත් සමඟ වෛද්‍ය සභාවේ රාජිත සේනාරත්න යුගය අවසන් බවත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම අනුව මෙම කමිටුව පත් කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරියට ප්‍රශංසාව පළ කරන බවත් සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පැවැසුවේය.

වෛද්‍ය සභාව දේශපාලනීකරණය වූ අයුරු හා වෛද්‍ය වෘත්තීය හෑල්ලුවට ලක් කිරීමට හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා කටයුතු කළ ආකාරය සාක්ෂි සහිතව පෙන්වාදීමට තම සංගමයට හැකි බව ද ඒ මහතා කීය.

පත් කර ඇති ස්වාධීන කමිටුව නිසි ලෙස කටයුතු කළහොත් අනාගතයේදී ශ්‍රී ලංකා වෛද්‍ය සභාව නිර්දේශපාලනීකරණය කර නැවතත් ස්වාධීන කිරීමෙන් වෛද්‍ය වෘත්තියේත්, වෛද්‍ය අධ්‍යාපනයේත්, සියලු රෝගී ජනතාවගේත් යහපත උදෙසා ක්‍රියාත්මක වන ස්වාධීන ආයතනයක් බවට පත් කළ හැකි යැයි ද ඒ මහතා ප්‍රකාශ කළේය.

Exit mobile version