Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොටි සංවිධානයට ආයුධ ලබාදුන් සජිත්ගෙනුත් ප්‍රශ්ණ කළ යුතුයි – කරුණා අම්මාන්

ඉන්දිය හමුදාව පලවා හැරීම සඳහා සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ පියා වන රණසිංහ ප්‍රේමදාස යන දෙදෙනා කොටි සංවිධානයට ආයුධ ලබාදී තිබුණි. එමෙන් සි.අයි.ඩි.ය විසින් සජිත් ප්‍රේමදාස මහතාවද ප්‍රශ්ණ කිරීම සඳහා කැඳවිය යුතු බව දෙමළ එක්සත් නිදහස් පෙරමුණ පක්‍ෂයෙහි නායක සහ සමස්ත ලංකා දෙමළ මහ සභාවේ අම්පාර දිස්ත්‍රික්ක අපේක්‍ෂක කරුණ අම්මාන් හෙවත් විනායගමූර්ති මුරලීදරන් මහතා පවසයි.

පසුගිය දින කිහිපයකට පෙර නාවිදන්වෙලි ප්‍රදේශයෙහි පැවැති මැතිවරණ ප්‍රචාරක රැස්වීමකදී අලිමංකඩ සටනදී දිනක් තුල හමුදා සෙබළුන් තුන් දාහක් ඝාතනය කළැයි කළ ප්‍රකාශයක් සම්බන්‍ධයෙන් අපරාධ විමර්ශණ අංශයට කැඳවා තිබීම සම්බන්‍ධයෙන් අද (22) දින දුරකථනයෙන් අදහස් විමසූ අවස්ථාවේදී ඔහු මේ බව පවසා සිටියේය.

මම පිළිතුරු ලබාදීමට සූදානමින් ඉන්නවා, වසන් කිරීමට කිසිවක් නැහැ, පසුගිය කාලයේ පැවැති කුරීරු යුද්දය ගැන තමයි මම කතා කළේ. එය නවතා දමා සාමය ගෙනවිත් වෙනසක් සිදුකිරීම ගැන තමයි මම එහිදී අදහස් ප්‍රකාශ කළේ. එයින් ඇතැමුන් දේශපාලන වාසියක් ලබා ගැනීමට උත්සහ කරනවා. විශේෂයෙන් සජිත් ප්‍රේමදාස මහතා දැඩි උත්සහයක් ගෙන එය ආන්දෝලාත්මක ප්‍රකාශයක් බවට පත්කර තිබෙනවා. ඇත්තෙන්ම ඔහුවත් ප්‍රශ්ණ කිරීමට කැඳවිය යුතුයි. ඉන්දිය හමුදාව පිටත්වූ කාල වකවානුවේදී ඔහු සහ ඔහුගේ පියා ද කොටි සංවිධානයට ආයුධ ලබාදී තිබුණා.

අනුර කුමාර දිසානායකට මේ ගැන කතා කිරීමට කිසිම අයිතියක් නැහැ. ඔවුන් 80 දාහක් පමණ තම ජනතාව ඝාතනය කළ අයයි. එමෙන් පසුගිය කාලයේ පැවැති යුද්දය ගැන කතා කළා මිස වැරද්දක් කිව්වේ නැහැ යැයි කරුණා අම්මාන් වැඩිදුරත් පැවැසීය..

Exit mobile version