බන්ධනාගාරගත කර සිටින පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් (Imran Khan) තමන්ගේ සහ සිය බිරිඳගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙමින් පවතින බව පවසමින් හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබේ.
”වයස අවුරුදු 74 දී, මෙම නොනවතින තත්ත්වය මාව නැවත පණපිටින් ආපසු නොඑන තැනකට ගෙන යමින් තිබෙනවා,” යනුවෙන් ක්‍රිකට් තරුවක සිට දේශපාලනඥයෙකු බවට පත් වූ ඔහු, සිය නීතිඥ සල්මන් සෆ්දාර් (Salman Safdar) විසින් ප්‍රකාශයට පත් කරන ලද ලිපියක සඳහන් කර ඇත.
ඉස්ලාමාබාද් බලධාරීන් පවසන්නේ ඛාන් සතිපතා වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කරනු ලබන බවත්, ඔහු “සතුටුදායක” සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවට ඔවුන් තක්සේරු කර ඇති බවත්ය.
චෝදනා 100කට අධික සංඛ්‍යාවකට මුහුණ දී සිටින ඛාන් 2023 අගෝස්තු මාසයේ සිට බන්ධනාගාරගතව සිටී. ඔහුගේ බිරිඳ බුෂ්රා බිබී (Bushra Bibi) ද පසුගිය වසරේ ඔහු සමඟ සිරගත කරන ලදී. දූෂණ චෝදනාවල සිට රාජ්‍ය තෑගි විකිණීම දක්වා තමන්ට එරෙහිව ගොනු කර ඇති නඩු දේශපාලනික වශයෙන් පෙළඹවූ ඒවා බව ඛාන් පවසයි.
බන්ධනාගාර බලධාරීන් පියවර නොගැනීම හේතුවෙන් ඔහුගේ දකුණු ඇසේ පෙනීම බොහෝ දුරට අහිමි වී ඇති බවට ඔහුගේ පවුලේ අය චෝදනා කිරීමත් සමඟ පසුගිය වසර තුළ ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ කනස්සල්ල වඩාත් තීව්ර විය.
තමා “මොළයේ රුධිර වහනයකට සහ හෘදයාබාධයකට ගොදුරු වීමේ දැඩි අවදානමක” සිටින බවත්, තම හදවතට දැනටමත් “හානි සිදුවී ඇති” බවත් වෛද්‍යවරුන් තමාට පවසා ඇති බව ඛාන් සිය ලිපියේ ලියා ඇත.
පසුගිය අප්‍රේල් මාසයේදී ඇසේ දෘෂ්ටි විතානය ගැලවී යාමකට (detached retina) ලක්ව රහසිගතව සැත්කමකට භාජනය වූ බව කියන බුෂ්රා බිබී පිළිබඳව ද ඔහු කනස්සල්ල පළ කළේය. වැඩිදුර සැත්කමක් නොකළහොත් ඇයගේ පෙනීම අහිමි විය හැකි බවට තමා බිය වන බව ඛාන් පැවසීය.
”මම ගණන් කළ නොහැකි තරම් නඩුවලදී කළ නොහැකි නීතිමය සටන් කර තිබෙනවා, මම නතර වී නැහැ. නමුත් පද්ධතිය මට යුක්තිය ඉටු කිරීම නතර කර තිබෙනවා,” ඔහු ලිවීය.
තමාව දිනකට පැය 22ක් දක්වා හුදකලා සිරමැදිරියක රඳවා තබා ඇති බවත්, එහිදී පවුලේ අයගේ බැලීම්වලට හෝ පොත්පත් සහ රූපවාහිනිය පරිශීලනය කිරීමට අවසර නොමැති බවත්, මෙය තම මානසික සෞඛ්‍යයට “දැඩි බලපෑමක්” එල්ල කර ඇති බවත් ඔහු පැවසීය.
පසුගිය වසර පුරාවට තම නීතිඥවරුන් හමුවීමට අවස්ථාව ලැබුණේ සිව් වතාවක් පමණක් බව ද ඔහු කියා සිටියේය.
”මට මගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට හැකි වන්නේ මම ජීවත්ව සිටියහොත් පමණයි,” ඔහු ලිවීය.
පාකිස්තානයේ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය තාරික් ෆසාල් චෞද්රි (Tariq Fazal Chaudhry) මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ ඛාන්ට “තමන් කැමති ආහාර ඇතුළු සියලු පහසුකම් බන්ධනාගාරය තුළ සපයා ඇති” බවයි.
”[ඔහු] දැනට පාකිස්තානයේ හොඳම පහසුකම් ලබන සිරකරුවායි,” අමාත්‍යවරයා වාර්තාකරුවන්ට පැවසීය.
සතියකට පෙර ඛාන් ඇසේ එන්නතක් ලබා ගැනීම සඳහා රජයේ රෝහලකට ගෙන ගිය බවත්, එහිදී වෛද්‍යවරුන් ඔහු “සායනිකව ස්ථාවර” (clinically stable) බවට තීරණය කළ බවත් බලධාරීහු පවසති.
මීට පෙර පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ ඛාන්, 2018 සිට 2022 දක්වා පාකිස්තානයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.
2023 මැයි මාසයේදී ඔහු අත්අඩංගුවට ගැනීමත් සමඟ ආධාරකරුවන් විසින් මහා පරිමාණ ප්‍රචණ්ඩකාරී විරෝධතා දියත් කරන ලද අතර, ඔවුහු ලාහෝර් හි හමුදා බලකා අණදෙන නිලධාරියාගේ නිවසට කඩා වැදී පහන් කූඩු කුඩු කර ගෘහ භාණ්ඩ, සිතුවම් සහ මොනරුන් පවා පැහැරගෙන ගියහ.
එම විරෝධතාවලින් අවම වශයෙන් පුද්ගලයින් අට දෙනෙකු මිය ගිය අතර ප්රචණ්ඩත්වය මැඩපැවැත්වීම සඳහා හමුදාව කැඳවීමට සිදු විය.
සිරගතව සිටියදී පවා ඛාන් පාකිස්තාන දේශපාලනයේ ප්‍රබල බලවේගයක් ලෙස රැඳී සිටී.
ඔහු නිදහස් කරන ලෙස ඉල්ලමින් ඔහුගේ ආධාරකරුවන් දහස් ගණනක් ඔක්තෝබර් මුලදී දින ගණනාවක් පුරා පැවති පාගමනකින් වීදි බැස සිටියහ. පසුව බලධාරීන් විරෝධතා මර්දනය කිරීමට නියෝග කළ අතර ඛාන්ගේ පක්ෂයේ බලකොටුව වන ඛයිබර් පක්තුන්ක්වා (Khyber Pakhtunkhwa) ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේය.
ඛාන්ට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙස ඉල්ලා හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් නායකයින් පසුගිය මාස කිහිපය තුළ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් (Shehbaz Sharif) වෙත අවස්ථා කිහිපයකදීම ආයාචනා කර තිබේ.
සෞඛ්‍ය තත්ත්වය පිරිහෙමින් පවතින බව පවසමින් හදිසි වෛද්‍ය ප්‍රතිකාර ඉල්ලන ඉම්රාන් ඛාන්!

