ආපදා පෙර සූදානම ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස, පවතින උණුසුම් කාලගුණික තත්ත්වය සහ අපේක්ෂිත අධික වර්ෂාපතනය හේතුවෙන් ඇතිවිය හැකි සමාජීය බලපෑම් තක්සේරු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
අද (16) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආපදා කළමනාකරණය පිළිබඳ පැවති සාකච්ඡාවක මුලසුන හොබවමින් ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන් අතර, එහිදී කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් නවතම කාලගුණ තත්ත්වයන් පිළිබඳව ඔහුව දැනුවත් කරන ලදී.
පවතින කාලගුණ අනාවැකි පිළිබඳව වැඩිදුර විශ්ලේෂණයක් සිදු කර ප්‍රජාවන්ට ඇතිවිය හැකි බලපෑම් දැක්වෙන වාර්තාවක් සකස් කරන ලෙස ඔහු නිලධාරීන්ට නියෝග කළේය.
පානීය ජලය, විදුලිය සහ ආහාර සැපයුම් තිරසාර ලෙස කළමනාකරණය කිරීම තහවුරු කිරීම සඳහා පවතින සැලසුම් යාවත්කාලීන කිරීමට මෙම සොයාගැනීම් උපකාරී වනු ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දුන් අතර, වනජීවීන්ට ඇතිවිය හැකි බලපෑම් තක්සේරු කිරීම සහ සුදුසු දිගුකාලීන ක්‍රියාමාර්ග හඳුනා ගැනීමේ වැදගත්කම ද සඳහන් කළේය.
වාර්තාව සකස් කර අවසන් වූ පසු වැඩිදුර සාකච්ඡා සඳහා ක්ෂේත්‍ර නිලධාරීන් කැඳවන ලෙස ද ඔහු උපදෙස් දුන්නේය.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික), ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ (විශ්‍රාමික), කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.එල්.කේ. විජේමාන්නගේ සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ගාමිණී ජයතිස්ස යන මහත්වරු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
උණුසුම් කාලගුණය සහ ඉදිරි අධික වර්ෂාවේ බලපෑම් තක්සේරු කරන්නැයි ජනපතිගෙන් උපදෙස්!

