යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (Protection of the State from Terrorism Act – PSTA) ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට අනුකූල වන බව තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා රජය එය සංශෝධනය කළ යුතු බව එක්සත් ජාතීන්ගේ (UN) විශේෂඥයින් පිරිසක් ප්‍රකාශ කර ඇත.
”වසර 26ක ඝෝර සිවිල් යුද්ධයට පෙර, යුද සමයේදී සහ ඊට පසුව සුළුතර ජන කොටස්, මානව හිමිකම් ආරක්ෂකයින්, මාධ්‍යවේදීන් සහ සිවිල් සමාජයට එරෙහිව සිදු වූ වධහිංසා පැමිණවීම් සහ අනිවාර්ය අතුරුදහන් කිරීම් ඇතුළු බොහෝ බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට මග පාදමින් 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීමට යෝජනා කිරීම අපි සාදරයෙන් පිළිගනිමු,” යැයි විශේෂඥයෝ පැවසූහ.
ලබාදුන් ප්රතිපෝෂණවලට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකා රජය විසින් PSTA හි බෙහෙවින් වැඩිදියුණු කළ නවතම කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති බව නිරීක්ෂණය කළ විශේෂඥයින්, නමුත් තවදුරටත් අවධානය යොමු කළ යුතු වැදගත් ගැටලු කිහිපයක් පවතින බව අවධාරණය කළහ.
රඳවා ගැනීමේ නියෝගවල නීත්‍යානුකූලභාවය, අවශ්‍යතාවය සහ ප්රමාණාත්මකභාවය පරීක්ෂා කිරීම සහ නිදහස් කිරීමට නියෝග කිරීම ඇතුළුව, ඒවා වහාම සහ ඵලදායී අධිකරණ පාලනයට සහ අධීක්ෂණයට යටත් විය යුතු බව විශේෂඥයෝ පැවසූහ.
”රඳවා ගැනීමට එරෙහි ඇපීල් සලකා බලන ස්වාධීන සමාලෝචන කමිටුව (Independent Review Committee) සැබවින්ම ස්වාධීන එකක් විය යුතු අතර එහි තීරණ බැඳී පවතින ඒවා විය යුතුය,” යැයි ඔවුහු පැවසූහ.
”රඳවා ගනු ලබන්නන්ට නීති උපදෙස් ලබා ගැනීම, භාෂා පරිවර්තනය, ස්වාධීන වෛද්‍ය පරීක්ෂණ, නීති ආධාර, පවුලේ අය සමඟ සබඳතා පැවැත්වීම සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ක්ෂණික නිරීක්ෂණ සංචාර සඳහා පහසුකම් තහවුරු කළ යුතුය,” යනුවෙන් ප්‍රකාශ කළ විශේෂඥයෝ, “බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සහ සන්නිවේදනයෙන් තොරව රඳවා තබා ගැනීම් වැළැක්වීම සඳහා රඳවා ගැනීමේ ස්ථාන මාරු කිරීම් වාර්තා කළ යුතු අතර ඒවා පිළිබඳව දැනුම් දිය යුතුය,” යැයි ද පැවසූහ.
ත්‍රස්තවාදය පිළිබඳ අර්ථ නිරූපණය චේතනාන්විතව මරණය හෝ බරපතල තුවාල සිදු කරන ක්‍රියාවලට පමණක් සීමා කළ යුතු බවත්, සාමාන්‍ය දේපළ හානි ඊට ඇතුළත් නොකළ යුතු බවත් ඔවුහු ඉල්ලා සිටියහ.
”අදහස් ප්‍රකාශ කිරීමට අදාළ වැරදි සඳහා ත්‍රස්තවාදී ප්රචණ්ඩත්වයක් ඇති වීමේ හැකියාවක් පැවතිය යුතුය,” යැයි විශේෂඥයෝ පෙන්වා දුන්හ.
පසුගිය හමුදා උල්ලංඝනයන් පිළිබඳ ඉතිහාසය සලකා බලමින්, සිදුවිය හැකි අනිසි භාවිතයන් වැළැක්වීම සඳහා සන්නද්ධ හමුදාවලට ඇති අත්අඩංගුවට ගැනීමේ, ප්‍රශ්න කිරීමේ සහ සෙවීමේ බලතල අහෝසි කරන ලෙස විශේෂඥයෝ ඉල්ලා සිටි අතර, ත්‍රස්තවාදී වැරදි වැළැක්වීමේ බලතල තදින් සීමා කර අධිකරණ අධීක්ෂණයට යටත් කළ යුතු බවට අනතුරු ඇඟවූහ. සංවිධාන තහනම් කිරීමේ මානයන් සහ සීමාවන් පැහැදිලි කර ඉහළ නැංවිය යුතු අතර, තහනම් කිරීම් සඳහා කාල සීමාවන් පැනවීම සහ සීමා කිරීමේ නියෝග හා ස්ථාන තහනම් කිරීමේ බලතල සඳහා සමුච්චිත කාල සීමාවන් (cumulative time limits) පැනවිය යුතුය.
ශක්තිමත් පටිපාටිමය ආරක්ෂාවන් මෙන්ම නීති විරෝධී ලෙස, වධහිංසා පැමිණවීමෙන් හෝ නරක ලෙස සැලකීමෙන් ලබාගත් සියලු සාක්ෂි හෝ ප්‍රකාශ නඩු කටයුතුවලින් ඉවත් කළ යුතු බවට විශේෂඥයෝ ඉල්ලා සිටියහ. ජාතික ආරක්ෂාව මත සාක්ෂි හෙළි නොකිරීම සම්බන්ධ නිසි ක්‍රියාපටිපාටිය (due process) ශක්තිමත් කළ යුතුය. මාධ්‍ය මූලාශ්‍ර, නීතිමය වරප්‍රසාද, වෘත්තීය රහස්‍යභාවය සහ මානව හිමිකම් නිරීක්ෂණවලට අදාළ තොරතුරු හෙළිදරව් කිරීමෙන් ආරක්ෂා කළ යුතුය.
”නීතිය ක්‍රියාත්මක වන ආකාරය මෙහෙයවීමට ජනාධිපතිවරයාට ඇති බලය සීමා කළ යුතු අතර, PSTA බලාත්මක වූ පසු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සංක්‍රාන්ති කාලසීමාවන් සඳහා යොදා නොගත යුතුය.”
”PSTA යටතේ සිදුවන මානව හිමිකම් සහ නීතිමය බලතල උල්ලංඝනය කිරීම් සඳහා අධීක්ෂණය, වගවීම සහ වහාම ඵලදායී නීතිමය පිළියම් රජය විසින් ශක්තිමත් කළ යුතුය. ඊට රඳවා ගැනීමෙන් නිදහස් කිරීම, සාක්ෂි ඉවත් කිරීම, නිලධාරීන්ගේ විනය හෝ අපරාධ වගකීම සහ වන්දි, පුනරුත්ථාපනය, කණගාටුව පළ කිරීම සහ නැවත සිදු නොවන බවට සහතික වීම වැනි වින්දිතයින් සඳහා වන වන්දි ගෙවීම් ඇතුළත් වේ,” යැයි විශේෂඥයෝ පැවසූහ.
”PSTA මගින් වැරදි ක්‍රියාවලට සම්බන්ධ නිලධාරීන්ට වක්‍ර නිදහසක් (immunities) ලබා දීම කිසිසේත්ම පිළිගත නොහැකිය.”
”ත්රස්තවාදයට එරෙහිව සටන් කිරීම සැබවින්ම ඵලදායී වන්නේ මානව හිමිකම්වලට ගරු කරන්නේ නම් පමණි.”
PSTA හි පූර්ව කෙටුම්පතක් සම්බන්ධයෙන් පැවැති කංස්සාවන් පිළිබඳව ද විශේෂඥයින් රජය වෙත දැනුම් දී ඇති අතර, සිවිල් සමාජය ඇතුළු සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කරන ලෙස ඉල්ලා සිටියේය. සංවිධානාත්මක අපරාධ සහ රාජ්‍ය නොවන සංවිධාන (NGOs) නියාමනය කිරීමේ පනත් කෙටුම්පත් ඇතුළු මෑතකාලීන අදාළ ප්‍රතිසංස්කරණ පිළිබඳව ද ඔවුහු අදහස් දැක්වූහ.
පනත් කෙටුම්පත තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා බලධාරීන්ට තාක්ෂණික සහය ලබාදීමට ද විශේෂඥයෝ සූදානම් බව ප්‍රකාශ කළහ.
PTA අහෝසි කිරීම සාදරයෙන් පිළිගන්නා එක්සත් ජාතීන්ගේ විශේෂඥයෝ නව පනතේ සංශෝධන රැසක් ඉල්ලති!

