සේවාවන් ලබා ගැනීමේදී සිදුවන ප්‍රමාදයන් වැළැක්වීම සඳහා හඳුන්වා දී ඇති විශේෂ වැඩපිළිවෙල යටතේ, බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංක (TIN) සහතිකය නොමැති වුවද පුද්ගලයින්ට නව බැංකු ගිණුම් ආරම්භ කිරීමට සහ මෝටර් රථ ආදායම් බලපත්‍ර අලුත් කිරීමට හැකි බව මුදල් අමාත්‍යාංශය පැහැදිලි කර ඇත.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමඟ එක්ව මුදල් අමාත්‍යාංශය නිකුත් කළ ඒකාබද්ධ මහජන නිවේදනයක දැක්වෙන්නේ, මේ වන විටත් TIN අංකයක් හිමි නමුත් එහි නිල සහතිකය නොමැති පුද්ගලයින්ට තම TIN අංකය පමණක් අදාළ ආයතනය වෙත ලබා දිය හැකි බවයි.
තවමත් TIN අංකයක් ලබාගෙන නොමැති පුද්ගලයන්ට තම ජාතික හැඳුනුම්පත් (NIC) අංකය, නම, ලිපිනය, දුරකථන අංකය සහ විද්‍යුත් තැපැල් (email) ලිපිනය ඉදිරිපත් කිරීමෙන් ද මෙම සේවාවන් ලබා ගැනීමට හැකියාව පවතී.
අයදුම්කරුවන් විසින් ලබාදෙන තොරතුරු භාවිත කරමින් TIN අංකයක් නිකුත් කිරීමට හෝ ඊට අදාළ ලියාපදිංචිය පහසු කිරීමට අදාළ ආයතන විසින් කටයුතු යොදනු ලබන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
පුද්ගලයෙකුට TIN සහතිකය ඉදිරිපත් කිරීමට නොහැකි වීම මතම පමණක් සේවාවන් ප්‍රමාද කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම නොකළ යුතු බව මුදල් අමාත්‍යාංශය අවධාරණය කළේය.
මේ අතර, බැංකු ගිණුම් ආරම්භ කිරීම සහ වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීම සඳහා ලබා දී ඇති විශේෂ සහනයට යටත්ව, නොවැම්බර් 01 වන දින සිට නිශ්චිත ගනුදෙනු අටක් (8) සඳහා TIN සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේය.
එම ගනුදෙනු අට වන්නේ:
නව බැංකු හෝ මූල්‍ය ආයතන ගිණුමක් ආරම්භ කිරීම.
මෝටර් රථ ආදායම් බලපත්‍රයක් අලුත් කිරීම.
ණය පතක් (Credit card) ලබා ගැනීම.
ගොඩනැගිලි සැලසුම් සඳහා අනුමැතිය ලබා ගැනීම.
මෝටර් රථයක් ලියාපදිංචි කිරීම.
ඉඩම් හෝ ඉඩම් හිමිකම් ලියාපදිංචි කිරීම.
ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම.
සමාගමක කොටස් පැවරීම.
ඉතිරි ගනුදෙනු හය (6) සඳහා TIN සහතිකය අනිවාර්යයෙන්ම ඉදිරිපත් කළ යුතු බව අමාත්‍යාංශය පැවසීය.
TIN සහතික පද්ධතිය මගින්ම ජනනය වන්නක් (system-generated) බැවින්, එහි මුද්‍රිත පිටපත් මෙන්ම විද්‍යුත් පිටපත් ද වලංගු වන බව අමාත්‍යාංශය වැඩිදුරටත් පැහැදිලි කළේය. ඒ සඳහා නිල අත්සන්, එම්බෝස් මුද්‍රා, රබර් මුද්‍රා හෝ නිවැරදි බවට සහතික කිරීම් (certified as a true copy) අවශ්‍ය නොවේ.
වයස අවුරුදු 18 සහ ඊට වැඩි සියලුම පදිංචිකරුවන්ට TIN අංකයක් ලබා ගැනීම නීතියෙන් අනිවාර්ය කර තිබුණද, TIN අංකයක් තිබූ පමණින්ම ඔවුන් ආදායම් බදු ගෙවීමට යටත් නොවන බව ද මුදල් අමාත්‍යාංශය අවධාරණය කළේය.
ආදායම් බදු ගෙවීමට යටත් වන්නේ යම් පුද්ගලයෙකුගේ වාර්ෂික ආදායම නියමිත රුපියල් මිලියන 1.8 සීමාව ඉක්මවා යන්නේ නම් පමණක් බව අමාත්‍යාංශය පැවසීය.
මේ අතර, වහාම TIN අංකයක් අවශ්‍ය නොවන පුද්ගලයින්ට, දෙපාර්තමේන්තුවේ සහ එහි සබැඳි පද්ධතියේ (online system) පවතින තදබදය ලිහිල් වන තෙක් ලියාපදිංචි වීම කල් තබන ලෙස උපදෙස් දී ඇත.
TIN සහතිකය නැතත් බැංකු ගිණුම් ඇරඹීමට හා වාහන බලපත්‍ර අලුත් කිරීමට අවසර!

