Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජ්‍යේෂ්ඨ නීතිඥ ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි

ජාතික ජන බලවේගයේ මෙහෙයුම් කමිටුවේ සහ විධායක සභාවේ සාමාජිකයෙකු වූ වාමාංශික දේශපාලඥයෙකු හා ජ්‍යේෂ්ඨ නීතිඥයෙකු වන ලාල් විජේනායක අද (31) සවස අභාවප්‍රාප්ත වී තිබෙනවා.

දීර්ඝ කාලයක් ලංකා සමසමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කළ ඔහු, පසුව එම පක්ෂයෙන් ඉවත් වී එක්සත් වාමාංශික පෙරමුණ ගොඩනැගීමට පුරෝගාමී වුණා.

මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයෙන් සහ ශ්‍රී ලංකා නීති විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති ඔහු, වරෙක පළමු මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායක ධුරයද හොඹවනු ලැබුවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනයට මෙන්ම ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කරගැනීමේ පනතට එරෙහිවද සක්‍රීයව පෙනී සිටි ඔහු, ඉතා ක්‍රියාකාරී ලෙස මහනුවරදී ‘වමේ කේන්ද්‍රය’ පිහිටුවීමට නායකත්වය ලබා දුන් අයෙක්.

අභාවප්‍රාප්ත ලාල් විජේනායකගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතයි.

Exit mobile version