පොලිස් අඩස්සියේ සිටි සැකකරුවෙකු මියයාමේ සිද්ධියට අදාළව රාජකාරී පැහැර හැරීම සහ නිලධාරීන් නිසියාකාරව සුපරීක්ෂණය කිරීමට අපොහොසත් වීම යන චෝදනා මත හෝමාගම පොලිස් ස්ථානයේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ (HQI) වැඩ තහනම් කිරීමට ඔක්තෝබර් 28 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පියවර ගෙන ඇත.
වාර්තා වන අන්දමට, සිදු කරන ලද විමර්ශනවලදී රාජකාරී ඉටුකිරීමේදී සිදුව ඇති බරපතල අතපසුවීම් අනාවරණය වීමෙන් අනතුරුව, පොලිස්පතිවරයා (IGP) විසින් මූලස්ථාන පොලිස් පරීක්ෂක එම්.ආර්.එස්. ප්රජන් සේනානායක මහතාගේ වැඩ තහනම් කිරීමට නියෝග කර තිබේ.
”අයිස්” (ICE) මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 490ක් ළඟ තබා ගැනීමේ චෝදනාව මත ඔක්තෝබර් 25 වන දින හෝමාගම පොලීසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද මෙම සැකකරු පසුව පොලිස් අඩස්සියේ පසුවෙද්දී මියගොස් ඇත.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් රැඳවුම් භාරයේ සිටි සැකකරුගේ තත්ත්වය නිසියාකාරව නිරීක්ෂණය කිරීමට, විමර්ශන නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබාදීමට සහ අත්අඩංගුවට ගැනීමට අදාළ වාර්තා නිවැරදිව පවත්වාගෙන යාම තහවුරු කිරීමට අපොහොසත් වී ඇති බවයි.
එසේම, සුදුසු සුපරීක්ෂණය ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම හේතුවෙන් පොලිස් නිලධාරීන්ට පොලිස් ස්ථානය තුළ පුද්ගලයින් දෙදෙනෙකු නීතිවිරෝධී ලෙස රඳවා තබා ගැනීමට ඉඩ සැලසී ඇති බව ද සොයාගෙන ඇත.
මේ අතර, මෙම සිදුවීමට අදාළව හෝමාගම පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා (OIC) ඇතුළු නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ ඔක්තෝබර් 26 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබුණි.
එලෙස වැඩ තහනමට ලක්වූ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඊයේ (28) අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (29) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත..
සැකකරුගේ මරණය නිසා හෝමාගම HQIගේ වැඩ තහනම්: අපරාධ විමර්ශන OICත් අත්අඩංගුවට!

