එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධන සමුළුව (UNCTAD) මඟින් කටාර් රාජ්යයේ දෝහා නුවරදී සංවිධානය කරනු ලබන 9 වන ලෝක ආයෝජන සංසදයට (World Investment Forum) සමගාමීව, ශ්රී ලංකාව නියෝජනය කරමින් ඊට එක්ව සිටින වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව සහ සමුපකාර සංවර්ධන අමාත්ය වසන්ත සමරසිංහ මහතා සහ කටාර් රාජ්යයේ විදේශ වෙළෙඳ කටයුතු පිළිබඳ රාජ්ය අමාත්ය අතිගරු ආචාර්ය අහමඩ් බින් මොහොමඩ් අල්-සයියද් (H.E. Dr. Ahmad bin Mohammed Al-Sayed) මහතා අතර විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්විණි.
මෙම සාකච්ඡාවේදී ශ්රී ලංකාව සහ කටාර් රාජ්යය අතර පවතින වෙළෙඳාම තවදුරටත් වර්ධනය කරගැනීම සඳහා අත්යවශ්ය පියවරක් ලෙස, ශ්රී ලංකා – කටාර් ඒකාබද්ධ කොමිසම (Joint Commission) ජනවාරි මාසයේ සිට යළි ක්රියාත්මක කිරීමට දෙපාර්ශ්වය එකඟත්වයට පත්විය. 2017 වසරෙන් පසු මෙම ඒකාබද්ධ කමිටු රැස්වීම පවත්වා නොමැති බැවින්, එය කඩිනමින් ආරම්භ කිරීමට මෙහිදී මූලිකත්වය ගෙන ඇත.
එමෙන්ම, මෙරට පවතින ආයෝජන අවස්ථා පිළිබඳව කටාර් නියෝජිතයින් දැනුවත් කළ අමාත්යවරයා, විශේෂයෙන්ම තෙල් හා ගෑස් ඇතුළු බලශක්ති ක්ෂේත්රයේ පවතින ආයෝජන අවස්ථා පෙන්වා දුන්නේය. ශ්රී ලංකාවේ අනාගත සුරක්ෂිත ආයෝජන සඳහා අවශ්ය වන සියලු වටපිටාව සහ පහසුකම් මේ වන විට සකස් කර ඇති බවද අමාත්යවරයා මෙහිදී අවධාරණය කළේය.
මීට අමතරව, “ශ්රී ලංකා එක්ස්පෝ 2027” (Sri Lanka Expo 2027) ප්රදර්ශනය සඳහා සහභාගී වන ලෙස අමාත්යවරයා කටාර් නියෝජිත පිරිසට නිල වශයෙන් ආරාධනා කරනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා සංචාරක නියෝජ්ය අමාත්ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා සහ වෙළෙඳ අමාත්යාංශ අධීක්ෂණ මන්ත්රී සුනිල් රත්නසිරි මහතා ද සහභාගී වූහ.

