නියෝජ්ය අමාත්ය මුනීර් මුලෆ්ෆර් මහතා සහ වැඩ බලන සෞදි තානාපතිවරයා අතර හමුවක්
ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්ය අමාත්ය මුනීර් මුලෆ්ෆර් මහතා සහ ශ්රී ලංකාවේ වැඩ බලන සෞදි තානාපතිවරයා අතර මිත්ර හමුවක් පසුගියදා තානාපති කාර්යාලයේදී පැවැත්විණි.
මෙම සුහද හමුවේදී, ශ්රී ලංකාව සහ සෞදි අරාබි රාජ්යය අතර දශක ගණනාවක් පුරා පවතින ඓතිහාසික මෙන්ම සමීප මිත්රත්වය ඉහළින් ඇගයීමට ලක් කෙරිණි. අන්යෝන්ය ප්රතිලාභ උදෙසා එම ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් පුළුල් කිරීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු වූ අතර, ඉදිරියේදී ආගමික සහ සංස්කෘතික අංශයන්ගෙන් දෙරට එක්ව ක්රියාත්මක කළ හැකි නව සහයෝගීතා වැඩසටහන් පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් විය.
මීට අමතරව, වර්තමානයේ ලෝකය මුහුණ දෙමින් සිටින විවිධ ගෝලීය අර්බුද සහ අභියෝග සම්බන්ධයෙන් ද නියෝජිතයින් දෙපළ අතර ඵලදායී අදහස් හුවමාරුවක් සිදුවිය. එහිදී, පසුගියදා සෞදි අරාබි රාජ්යයේ ගුවන්තොටුපළක් ඉලක්ක කරගනිමින් එල්ල වූ ප්රහාරය සම්බන්ධයෙන් සිය දැඩි අවධානය යොමු කළ නියෝජ්ය අමාත්ය මුනීර් මුලෆ්ෆර් මහතා, ඒ පිළිබඳව වැඩබලන සෞදි තානාපතිවරයා වෙත සිය බලවත් කනගාටුව ද නිල වශයෙන් පළ කර සිටියේය.

