රාජ්‍ය රෝහල්වල මුස්ලිම් කාන්තා සෞඛ්‍ය සේවිකාවන්ගේ ඇඳුම් අයිතිය සුරකින්න – සමස්ත ලංකා මුස්ලිම් ලීග් තරුණ පෙරමුණෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිපියක්
රාජ්‍ය රෝහල්වල සේවය කරන මුස්ලිම් කාන්තා සෞඛ්‍ය සේවිකාවන්ගේ ආගමික ඇඳුම් පැළඳුම් අයිතිය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා පාර්ලිමේන්තුව තුළ හඬ අවදි කරන ලෙස සමස්ත ලංකා මුස්ලිම් ලීග් තරුණ පෙරමුණු සම්මේලනය සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරයි.
එම සංවිධානයේ ජාතික සභාපති එම්. එන්. එම්. ෂාම් නවාස් මහතාගේ අත්සනින් යුතුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත යොමු කර ඇති ලිපියක මෑතකදී නාගොඩ රෝහලෙන් සහ මීට පෙර කල්මුණේ උතුර ඇතුළු රෝහල් කිහිපයකින් වාර්තා වූ සිදුවීම් සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත.
එම ලිපිය මගින් පෙන්වා දී ඇති ප්‍රධාන කරුණු මෙසේය:
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත අයිතිවාසිකම්: ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 වැනි වගන්තිය මගින් ආගමික නිදහසත්, 14(1)(e) වගන්තිය මගින් සිය ආගම ඇදහීමේ සහ පිළිපැදීමේ මූලික අයිතියත් තහවුරු කර ඇත
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතර භාවය: මෙම ආගමික ඇඳුම් තහනම් කරන කිසිදු පාර්ලිමේන්තු පනතක් නොමැති අතර, ආයතනික රෙගුලාසි හෝ චක්‍රලේඛවලට වඩා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උත්තරීතර වේ.
නිල ඇඳුම්වල නම්‍යශීලීභාවය: 2003 වසරේදී ගැබිනි සෞඛ්‍ය සේවිකාවන් සඳහා පහසු නිල ඇඳුමක් හඳුන්වා දීම වැනි පූර්වාදර්ශ හරහා සේවයේ සහ මානුෂීය/ආගමික අවශ්‍යතා මත නිල ඇඳුම්වල නම්‍යශීලී වෙනස්කම් සිදු කිරීමට ඉඩකඩ ඇති බව පැහැදිලි වේ.
රාජ්‍ය රෙගුලාසි උල්ලංඝනය නොවීම: මෙම සිදුවීම්වලට මුහුණ දුන් සේවිකාවන් වෙනත් රාජ්‍ය රෝහල් වෙත ස්ථාන මාරු කර ඇති අතර, එමගින් තහවුරු වන්නේ මෙම ඇඳුම් භාවිතය පොදු රාජ්‍ය සේවා නීතිවලට පටහැනි නොවන බවයි.
එබැවින්, වෘත්තීය මට්ටමින් රාජකාරිය ඉටුකරන අතරතුර සිය ආගමික හා සංස්කෘතික අනන්‍යතාවය සුරැකීමට මුස්ලිම් කාන්තා සෞඛ්‍ය සේවිකාවන්ට ඇති අයිතිය තහවුරු කිරීමටත්, ආයතනික මට්ටමේ හිරිහැර වැළැක්වීමටත් පාර්ලිමේන්තුව මැදිහත් විය යුතු බව එම සංවිධානය වැඩිදුරටත් අවධාරණය කරයි.

