Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආනයනික ආලේපන සහ පාවහන් වෙළෙඳසැල් ඉලක්ක කරගනිමින් පාරිභෝගික අධිකාරියෙන් දිවයින පුරා විශේෂ වැටලීමක්

දිවයින පුරා ආනයනික ආලේපන හා පාවහන් සම්බන්ධ වැටලීම් 108ක්

දිවයින පුරා ආනයනික ආලේපන හා පාවහන් සම්බන්ධ වැටලීම් 108ක්

ආනයනික ආලේපන සහ පාවහන් කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් දිවයින පුරා විශේෂ වැටලීම් හා විමර්ශන වැඩසටහනක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව පසුගිය 18 සහ 19 යන දිනවල වැටලීම් 108ක් සිදු කර ඇත.

එහිදී භාණ්ඩ ලබාගත් ආකාරය තහවුරු කරන නිසි ලදුපත්, බිල්පත් හෝ ඉන්වොයිසි ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ ව්‍යාපාරික ස්ථාන 84කට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු යොදා ඇති බව එම අධිකාරිය නිවේදනය කළේය.

මෙම වැටලීම්වලදී ආනයනය කරන ලද සම පැහැපත් කිරීමේ ආලේපන, මුහුණු හා ශරීර ආලේපන, සුවඳ විලවුන්, කේශාලේපන, ක්‍රීඩා පාවහන් සහ අනෙකුත් ආනයනික පාවහන් ඇතුළු විවිධ භාණ්ඩ පරීක්ෂාවට ලක් කර ඇත.

මෙහිදී රුපියල් මිලියන 1.5කට ආසනන්න වෙළෙඳපොළ වටිනාකමකින්යුත් භාණ්ඩ නිලධාරීන් භාරයට ගෙන ඇති බව සඳහන්ය.

එමෙන්ම, ආනයනික භාණ්ඩ වෙළඳසැලට ලැබුණු ආකාරය තහවුරු කළ නොහැකි වැටලීම් සම්බන්ධව තවදුරටත් විමර්ශන කටයුතු අඛන්ඩව සිදු කිරීමට නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

මේ අතර මෙම වැටලීම්වලට අමතරව මෙම වසරේ දී ක්‍රීම් හා දියර වර්ග සම්බන්ධව වැටලීම් 785ක් පමණ සිදුකර අදාළ ව්‍යාපාරිකයන්ට එරෙහිව නඩු පවරා තිබේ.

පාරිභෝගික අධිකාරිය මගින් නිකුත් කර ඇති විධාන අංක 83 අනුව, භාණ්ඩ විකිණීම, සන්තකයේ හෝ පාලනය යටතේ තබාගෙන සිටින අදාළ නිෂ්පාදකයන්, සැපයුම්කරුවන්, බෙදාහරින්නන්, ගබඩාකරුවන් සහ වෙළඳුන් විසින් එම භාණ්ඩ ලබාගත් ආකාරය තහවුරු කළ හැකි ලිඛිත හෝ මුද්‍රිත බිල්පතක් හෝ ඉන්වොයිසියක් සන්තකයේ තබාගත යුතුය.

එම ලේඛනය තුළ සැපයුම්කරුගේ නම හා ලිපිනය, මිලදී ගත් දිනය, මිලදී ගත් මිල, භාණ්ඩ වර්ගය, ප්‍රමාණය සහ අදාළ අවස්ථාවල කාණ්ඩ අංකය වැනි තොරතුරු ඇතුළත් වීම මගින් භාණ්ඩයක සැපයුම් දාමය හඳුනාගැනීමට හැකියාව ලැබේ.

මෙම නීතිමය අවශ්‍යතාවයේ වැදගත්කම “බිල්පතක් තබාගැනීම” පමණක්ම නොවන අතර වෙළඳපොළට පැමිණෙන භාණ්ඩවල සැපයුම්කරු ආනයනකරු හා වගකිවයුතු පාර්ශ්වයන් කවුද යන්න හඳුනාගත හැකි වීම වෙළඳපොළ නියාමනයට සහ පාරිභෝගික ආරක්ෂාවට ඉතා අත්‍යවශ්‍ය වේ.

විශේෂයෙන් ආලේපන වැනි භාණ්ඩයක ගුණාත්මකභාවය හෝ ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් අනාවරණය වුවහොත් එහි සැපයුම්කරු හෝ ආනයනකරු සොයාගැනීමට මෙම ලේඛනමය තහඩුරු කර ගැනීම අත්‍යවශ්‍ය වේ.
QWEW

Exit mobile version