මහනුවර ජාතික රෝහලේ රුපියල් මිලියන 570ක (රු. 570,000,000.00) සම්පූර්ණ වටිනාකමකින් යුතු අතිනවීන වෛද්‍ය උපකරණ පද්ධති තුනක් නිල වශයෙන් රෝගී ප්‍රතිකාර සේවා සඳහා එක්කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතාගේ සහභාගීත්වයෙන් අද(15) පෙරවරුවේ සිදු කෙරුණා.
ඒ මෙරට නිදහස් සෞඛ්‍ය සේවා පද්ධතියේ රෝග විනිශ්චය සහ ප්‍රතිකාර සේවාවන් කාර්යක්ෂම හා විධිමත් කිරීම උදෙසා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර ඇති සුවිශේෂී වැඩපිළිවල යටතේයි.
ඒ අනූව අළුතින් පිහිටුවන ලද නවීනතම තාක්ෂණයෙන් යුතු හෘද කැතීටර්කරණ රසායනාගාර ඒකකය (රුපියල් මිලියන 200), මැමෝග්‍රැෆි අංශය (රුපියල් මිලියන 180), සීටී පරීක්ෂණ අංශය (රුපියල් මිලියන 190) ජනතා අයිතියට පත් කෙරුණි.
ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) මූල්‍ය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වන සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙම භෞතික සම්පත් සංවර්ධනය සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබාදී තිබේ.
මහනුවර ජාතික රෝහලේ විකිරණ පුතිකාර සේවා සඳහා එක් වු දෙවන සීටි ස්කෑන් යන්ත්‍රය මෙය වන අතර, හෘද කැතීටකරණ රසායනාගාර ඒකකද රෝහලට ලැබුණු දෙවන හෘද කැතීටර්කරණ රසායනාගාරයි.
දැනට මෙරට තිබෙන ඉහළම නවීන තාක්ෂණය සහිත මැමෝග්‍රැෆි යන්ත්‍ර 05න් එකක් අද(15) දින රෝහලේ ස්ථාපිත විය.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර ජාතික රෝහල මෙරට දෙවන ජාතික රෝහල ලෙස විශාල ජනතාවකට තෘතීයික සත්කාර සපයන බවත්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත පිළිකා රෝග ඒකකය, හදිසි අනතුරු ඒකකය ඇතූළු ගොඩනැගිලි ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 8000 කට වැඩි ප්‍රමාණයක් වැය කරමින් මේ වනවිට සංවර්ධන ව්‍යාපෘති රැසක් සිදූ කරන බව මෙහිදී පැවසීය
හෘද කැතීටර්කරණ ඒකක (Cath Labs) 1 ක් මෙම වසර තුළ මෙරට රෝහල් පද්ධතිය තුළ ස්ථාපිත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක බවත් ඒ යටතේ මහනුවර ජාතික රෝහලේ නව හෘද කැතීටර්කරණ රසායනාගාර ඒකකය ස්ථාපිත කෙරුණු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළා.
එමෙන්ම මෙරට බහුතරයක් රෝහල් වලින් අතරින් වැඩිම රෝගීන් පිරිසක් පොරොත්තු ලේඛණයේ සිටින බව සඳහන් වනුයේ මහනුවර ජාතික රෝහලේ බවද පැවසුවා.
මෙම නවීන උපකරණ සමග පවතින පොරොත්තු ලේඛණ අවසන් කර පරීක්ෂණ ප්‍රතිකාර සේවා මේ හරහා කාර්යක්ෂම කළ හැකි බවත්, මේ වන විට මෙරට සෞඛ්‍ය සේවාවේ පුනරුදයක් සිදූවන බවත්, සෞඛ්‍ය සේවාවේ මෙම පරිවර්ථනීය පුනරුදය දෙස විපක්ෂයේ පිරිස්ද සාධනීයව බලන බවද අමාත්‍යවරයා මෙහි දී තවදුරටත් පැවසුවා.
ඇඳන් 2800 කින් පමණ සමන්විත මහනුවර ජාතික රෝහලේ රෝග විනිශ්චය සහ ප්‍රතිකාර සේවාවන් වඩා කාර්යක්ෂම හා ඵලදායී අයුරින් ජනතාවට ලබාදීමට ඉහත නවීන තාක්ෂණික උපකරණ ස්ථාපිත කිරීම තුළ හැකියාව ලැබේ

