Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගුණාත්මක දේශීය නිෂ්පාදන සමුපකාර වෙළෙඳසැල් 3500ක් හරහා ජනතාව අතට

ගුණාත්මක දේශීය නිෂ්පාදන සමුපකාර වෙළෙඳසැල් 3500ක් හරහා ජනතාවට

ගුණාත්මක දේශීය නිෂ්පාදන සමුපකාර වෙළෙඳසැල් 3500ක් හරහා ජනතාවට

ශ්‍රී ලංකා පාරිභෝගික සමුපකාර සමිති සංගමය (COOPFED), දේශීය කර්මාන්තකරුවා ශක්තිමත් කරමින් පාරිභෝගිකයාට සහනදායී මිලකට අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීමේ අරමුණින් ලංකා සීනි සමාගම සහ BCC ලංකා සමාගම සමඟ විශේෂ අවබෝධතා ගිවිසුම් දෙකකට අත්සන් තබයි.

මෙය සමුපකාර ඉතිහාසයේ ඓතිහාසික පියවරක් ලෙස සනිටුහන් වන අතර, ඒ හරහා පාරිභෝගිකයාට ගුණාත්මක දේශීය නිෂ්පාදන සෘජුවම ලබා ගැනීමට අවස්ථාව සැලසේ.

මෙම නව වැඩපිළිවෙළ යටතේ ලංකා සීනි සමාගමෙන් මසකට දුඹුරු සීනි ටොන් 1000ක් ද, BCC ලංකා සමාගමෙන් ඇසුරම් කරන ලද පොල්තෙල් ලීටර් 20000ක් මෙන්ම සබන් ඇතුළු අනෙකුත් නිෂ්පාදන ද සමුපකාර ජාලය වෙත ලබා ගැනීමට නියමිතය. මෙම නිෂ්පාදන පාරිභෝගික සමුපකාර 75ක නියෝජිතයින් හරහා තවත් ප්‍රාදේශික වෙළදසැල් 3500 ක් දක්වා විහිදී යන පුළුල් බෙදාහැරීමේ ජාලයක් ඔස්සේ ජනතාව වෙත ළඟා කිරීමට නියමිත වේ.

අතරමැදියන් ඉවත් කරමින් වෙළඳපොළේ මිල පාලනය කිරීමටත්, “මිල තීරකයා” (Price Stabilizer) ලෙස කටයුතු කිරීමටත් මෙමඟින් සංගමය බලාපොරොත්තු වේ.

2029 වසර වන විට ප්‍රාදේශික වෙළදසැල් 3500 සිට 10 000 දක්වා වැඩි කරගැනීමේ ඉලක්කය සහිතව සංගමය කටයුතු කරමින් සිටියි. එමෙන්ම දේශීය නිෂ්පාදනවලට අමතරව ඉන්දියානු සමුපකාර සමිති සමඟ එක්ව ගුණාත්මක නිෂ්පාදන ආනයනය කර බෙදාහැරීමට ද පියවර ගෙන ඇත.

වසර ගණනාවක විශ්වසනීය ඉතිහාසයක් ඇති මෙම සංගමය, තිරසාර ව්‍යාපාරික සදාචාරයත් අනුගමනය කරමින් සාමාජිකයින්ගේ සහ පාරිභෝගිකයින්ගේ ආර්ථික තත්ත්වය උසස් කිරීමට කැපවී සිටියි. දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය කරමින් සහ වෙළඳපොළ ඒකාධිකාරය බිඳ හෙළමින් ජනතාවට සහන සැලසීමට ඔවුන් ඉටුකරන සුවිශාල මෙහෙවර, වඩාත් යහපත් ලෝකයක් ගොඩනැගීමට සමුපකාර ව්‍යාපාරය දක්වන දායකත්වයට මනා නිදසුනකි.

මෙහිදී අදහස් දැක්වූ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ප්‍රකාශ කළේ, ඇමෙරිකාව සහ යුරෝපය වැනි දියුණු රටවල පවා පස් දෙනෙකුගෙන් එක් අයෙකු පාරිභෝගික සමුපකාර සාමාජිකයෙකු වන බවත්, නිෂ්පාදකයාගේ සහ පාරිභෝගිකයාගේ කේවල් කිරීමේ හැකියාව ශක්තිමත් කිරීමට සමුපකාරය අත්‍යවශ්‍ය බවත් ය. දැනට ක්‍රියාත්මක මෙම සමුපකාර ශාඛා ජාලය තවදුරටත් වර්ධනය කරමින් මෙය සමස්ථ “පද්ධතියක්” (Ecosystem) ලෙස ගොඩනැගීමට රජය සැලසුම් කර ඇත.

මීට අමතරව, මුදල් හා වෙළඳ අමාත්‍යාංශ ඒකාබද්ධව සමුපකාර බැංකු පද්ධතිය ශක්තිමත් කිරීමට පියවර ගනිමින් සිටින බවත්, එමඟින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට සිය නිෂ්පාදන වෙළඳපොළට ඉදිරිපත් කිරීමට ශක්තිමත් වේදිකාවක් සැපයෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version