හම්බන්තොට වරායට ගෙන්වන ලද වාහන 1,025ක් පමණ මෙතෙක් නිදහස් කරගැනීමට ආනයනකරුවන් කටයුතු කර නොමැති බව ශ්‍රී ලංකා රේගුව පවසයි.
ශ්‍රී ලංකා රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා සඳහන් කළේ, එම වාහන අතුරින් වාහන 625ක්ම මෙරටට ආනයනය කර මාස 6කට වඩා වැඩි කාලයක් ගතවී ඇති බවයි.
මෙම වාහනවල කිසිදු රේගු වරදක් නොමැති බව තහවුරු කර ඇති අතර, නියමිත කාලය තුළ නිදහස් කර නොගැනීම නිසා රේගු ආඥා පනතේ 129 වන වගන්තිය ප්‍රකාරව ඒවා ඉදිරියේදී වෙන්දේසි කිරීමට හෝ ටෙන්ඩර් කැඳවා අලෙවි කිරීමට කටයුතු කරන බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැහැදිලි කළේය.
මෙරටට ගෙන්වන ඕනෑම භාණ්ඩයක් මාසයක් තුළ ඊට අදාළ සියලුම බදු වර්ග ගෙවා නිදහස් කරගත යුතුය.
එසේ නොකරන්නේ නම් අදාළ පනත යටතේ ඒවා විකුණා එම මුදල්වලින් රජයට අවශ්‍ය බදු ප්‍රමාණය අයකරගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන පවතින බව සඳහන්ය.
අදාළ බදු ගෙවීමෙන් අනතුරුව ඉතුරුවන මුදල්වලින් වරාය සහ ගුදම් ගාස්තු ගෙවීමට හැකිය.
එම ගෙවීම් සිදු කිරීමෙන් අනතුරුව ඉතුරු වන යම් මුදලක් තිබේ නම් එය අදාළ ආනයනකරුවා හට ගෙවීමට කටයුතු කරන බව චන්දන පුංචිහේවා මහතා පැවසුවේය.
ආනයනය කරන ලද භාණ්ඩ මාසයකට වඩා කාලයක් වරායෙන් නිදහස් කරගෙන නොමැති නම් ඒ බව වරයා පාලකවරයා විසින් ශ්‍රී ලංකා රේගුවට දැනුම්දිය යුතුය.
මේ වනවිටත් නිදහස් කරගෙන නොමැති වාහන සම්බන්ධයෙන් තමන් දැනුවත් කර ඇති බවත් ඒ අනුව ඉදිරියේදී ඒවා අලෙවි කිරීමට අවශ්‍ය කටයුතු කරන බව ඔහු අවධාරණය කළේය.
කෙසේවෙතත් යම් ආනයනකරුවෙකුට සාධාරණ හේතුවක් මත අදාළ වාහන නිදහස් කරගැනීම නොහැකි බවට දැනුම්දෙනු ලබන්නේ නම් ඒ පිළිබඳ සලකා බැලීමේ හැකියාවක් ද පවතින බව ශ්‍රී ලංකා රේගුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

