Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලිංගිකව සම්ප්‍රේෂණයවන රෝග අවම කිරීමේ අරමුණින් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ජංගම සායන

ලිංගිකව සම්ප්‍රේෂණයවන රෝග අවම කිරීමේ අරමුණින් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ජංගම සායන

ලිංගිකව සම්ප්‍රේෂණයවන රෝග අවම කිරීමේ අරමුණින් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ජංගම සායන

මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය HIV/STI හෙපටයිටිස් ඇතුළු ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග කල්තියා හඳුනාගැනීම සඳහා වන ජංගම ඒකක මඟින්, ප්‍රජාව තුළ ළඟාවීමට අපහසු ජන කොටස් වෙත සේවා සැපයීම (Mobile Units: Reaching the Unreached within the Community Neighbourhood) විශේෂ ජංගම සායන වැඩසටහනක් ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

මෙරට තුළ ලිංගාශ්‍රිත රෝගීන් හදුනාගැනීම සහ රෝග ව්‍යාප්තිය අවම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන මෙම නවමු වැඩසටහන පිළිබඳව විශේෂ මාධ්‍ය හමුවක් අද (13) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඡ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති හා ප්‍රචාරණ) ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන් මහතාගේ මෙහෙයවීම යටතේ එම අමාත්‍යාංශයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා සම්පත් දායකත්වයෙන් ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන වැඩසටහනේ ජාතික වැඩසටහන් විශේෂඥ, විශේෂඥ වෛද්‍ය සත්‍යා හේරත් මහත්මිය සහ ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ නදීකා ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සහභාගි වූවාය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන වැඩසටහන (NSACP) මඟින් ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන විශේෂ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම වර්ෂයේ ජනවාරි මස ආරම්භ කර ඇති අතර, ජනගහණය සහ අවදානම් තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු කර කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කෙරේ. මහජනතාව අතරට ගොස් ඔවුන්ගේ කැමැත්ත සහ පෞද්ගලිකත්වය උපරිමයෙන් සුරැකෙන පරිදි නොමිලේ සේවා ලබාදීමට මෙහිදී කටයුතු යොදා ඇත.

මෙහිදී පරීක්ෂණ වාර්තාවල රහස්‍යභාවය සම්පූර්ණයෙන්ම සුරකින අතර, යම් හෙයකින් රෝගී තත්ත්වයක් හෝ ආසාදනයක් හඳුනාගතහොත් ඔවුන් සඳහා අවශ්‍ය වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර නොමිලේ ලබාදීමටද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන වැඩසටහන මඟින් සියලු කටයුතු යොදා ඇත.

ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන වැඩසටහනේ ජාතික වැඩසටහන් විශේෂඥ, විශේෂඥ වෛද්‍ය සත්‍යා හේරත් මහත්මිය මෙහිදි ජංගම ප්‍රජා සායන හඳුන්වාදීම, HIV/ලිංගාශ්‍රිත රෝග සහ හෙපටයිටිස් පිළිබඳ හැඳින්වීම, ජාතික HIV/ලිංගාශ්‍රිත රෝග ප්‍රතිචාරයේ ප්‍රජා පාදක මැදිහත්වීම සහ ප්‍රජා සායනයේ කාර්යයන් පිළිබඳව හදුන්වා දෙනු ලැබුවාය. ශ්‍රී ලංකාව HIV අඩු ව්‍යාප්තියක් ඇති රටක් වුවද මෑත අතීතයේ සිට වාර්තා වන HIV, ලිංගාශ්‍රිත ආසාදන සහ හෙපටයිටිස් රෝගීන් සංඛ්‍යාව ඉහළ යමින් පවතින බැවින් ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන වැඩසටහන විසින් රෝග පාලනය සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බවත්, ජනතා ප්‍රවේශය පුළුල් කිරීමට පියවර ගනිමින් ජනතාව සහභාගි කරගෙන මෙම ජංගම සායන ක්ෂේත්‍ර වැඩසටහන ක්‍රියාත්මක බවද පැවසුවාය.

බහු සහකරුවන් සිටින පිරිමින් සහ කාන්තාවන් අතර, අනාරක්ෂිත ලිංගික හැසිරීම් සහ මත්ද්‍රව්‍ය එන්නත් කිරීමේ ක්‍රම සඳහා එන්නත්කටු, සිරින්ජර් සහ වෙනත් උපකරණ හවුලේ භාවිතා කිරිම සහ බෙදාගැනීම ආදිය සමහර ඉහළ අවදානම් සහිත චර්යාවන් වන බව ද විශේෂඥ වෛද්‍ය සත්‍යා හේරත් මහත්මිය පෙන්වා දුන්නාය. මෙම චර්යාවන් ඇති පුද්ගලයින් ඒවා අවදානම් යැයි නොසලකන බවත්, ඔවුන් තරුණ, ලිංගිකව ක්‍රියාශ්‍රීලී සහ සෞඛ්‍ය සම්පන්න වන බවත් සාමාන්‍යයෙන් තමන් විසින්ම නිතිපතා ලබාගත හැකි සෞඛ්‍ය සේවාවන් ආදියට සහභාගි නොවන බවද පැවසීය. එබැවින් මෙම ප්‍රජා මූලික වැඩසටහන් මෙම හිඩැස සපුරාලීමට උපකාරි වන බවද පැවසුවාය.

HIV/STI/හෙපටයිටිස් සේවා සඳහා ලඟා නොවූ ප්‍රජාවන් වෙත ලඟාවීම සඳහා මෙය ‌ගෝලීය වශයෙන් හොදම පිළිගත හැකි ප්‍රවේශයක් බවත්, මෙම වැළැක්වීමේ ක්‍රියාවලියට දිස්ත්‍රික්ක 15ක ප්‍රජා සේවකයින් 120ක් සම්බන්ධ කරගෙන ඇති බවද දැනුවත් කළ අතර, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල සෞඛ්‍ය සේවා ආවරණය වැඩිදියුණු කිරීම සඳහා රෝග හදුනාගැනීමට මෙම “ජංගම ඒකක” සංකල්පය හදුන්වා දී ඇති බවද පැවසීය.

ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ නදීකා ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය මෙහිදී අදහස් දක්වමින් 2011 වසරේ සිට මෙම HIV ජාතික වැඩසටහන සමඟ සම්බන්ධව කටයුතු සිදු කරන බවත්, රජය ගෙනයන වැඩපිළිවෙලට සහයෝගය දෙමින් විවිධ දිස්ත්‍රික්ක වල වැඩසටහන් සහ සම්බන්ධ වන බවත් පැවසුවාය. මෙම ක්‍රමවේදය හරහා ජනතාව ඒ සඳහා දායක කරගෙන, පුහුණුව, දැනුම ලබාදී ඔවුන් හරහා පණිවුඩ සමාජගත කර සමාජයේ පිරිස් පරීක්ෂණ සිදු කිරීමට යොමු කිරිම, සායන වෙත යොමු කිරිම, ප්‍රජා සායන වෙත සම්බන්ධ කිරීම, දැනුම ලබාදීමට කටයුතු කරන බව ද පැවසීය. මෙම සියළු කටයුතු රජයේ අධීක්ෂණය යටතේ සිදුවන බැවින් එය ඉතා සාර්ථක ක්‍රමවේදයක් බවද පැවැසුවාය. මෙම ක්‍රමවේද හරහා 2012 දත්ත හා සැසැදීමේ දී සාර්ථක ප්‍රතිඵල රැසක් අත්කරගෙන ඇති බවද වැඩිදුරටත් පෙන්වා කරුණු පෙන්වා දුන්නාය.

මෙම වැඩසටහන මගින් පිරිනමනු ලබන සේවාවන් ලෙස ලිංගාශ්‍රිත රෝග/HIV/ හෙපටයිටිස් පිළිබඳ අධ්‍යාපනය, මනෝ සමාජීය සහාය සහ උපදේශනය, කොන්ඩම් සහ ජලය මත පදනම් වූ ලිහිසි කාරක ප්‍රවර්ධනය සහ බෙදා හැරීම, මත්ද්‍රව්‍ය දුර්භාවිතය හා එම චර්යාවන්හිදී පවත්වාගත යුතු සෞඛ්‍ය පුරුදු පිළිබඳ අධ්‍යාපනය සහ හානි අවම කිරීමේ සේවා, HIV, STI, හෙපටයිටිස් B සහ C පරීක්ෂණ ස්ථානීය සත්කාර පරීක්ෂණ මගින් සිදුකරදීම, පූර්ව සහ පසු රෝග නිවාරණය, හෙපටයිටිස් B එන්නත ලබාදීම, ප්‍රජා පාදක සෘජු නිරීක්ෂණය කළ හෙපටයිටිස් C ප්‍රතිකාරය සහ වැඩිදුර සේවාවන් සඳහා සම්බන්ධ කිරීම ඇතුලු සේවාවන් රැසක් බවද මෙම මාධ්‍ය හමුවේ දී පෙන්වා දෙන ලදි.

සායන ස්ථාන පිළිබඳ වැඩිදුර තොරතුරු, ප්‍රජා සේවකයින් සම්බන්ධ කර ගැනීමෙන් හෝ 0716379192 ජංගම දුරකථන අංකයට ඇමතීමෙන් ලබාගත හැකි බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන වැඩසටහන (NSACP) වැඩිදුරටත් මෙහිදී පෙන්වා දෙන ලදි.

Exit mobile version