රත්නපුර, බණ්ඩාරනායක මාවතේ පිහිටි ‘ජේ.කේ. මාර්කටිං සර්විසස් පුද්ගලික සමාගමට’ අයත් ‘කීල්ස් සුපර් 2’ (Keells Super 2) ශාඛාවට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ රත්නපුර දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් රත්නපුර මහෙස්ත්‍රාත් අධිකරණය රුපියල් 100,000ක දඩ මුදලක් නියම කර තිබේ.
ඒ, පාරිභෝගිකයා නොමඟ යවන සහ රවටන සුළු අයුරින් කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය සහ භාණ්ඩ අලෙවිය සඳහා ප්‍රදර්ශනය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත උල්ලංඝනය කරමින් කටයුතු කිරීමේ චෝදනාව යටතේයි.
පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් සිදුකළ විශේෂ වැටලීමකදී, මෙම සුපිරි වෙළඳසැල තුළ කල් ඉකුත් වූ වියළි හාල්මැස්සන් ඇසුරුම් විකිණීම සහ කල් ඉකුත් වූ කපුරු බෝල ඇසුරුම් පාරිභෝගිකයින්ට අලෙවි කිරීම සඳහා ප්‍රදර්ශනය කර තිබීම යන චෝදනා එල්ල වී තිබුණා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ රත්නපුර දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් මේ සම්බන්ධයෙන් රත්නපුර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.
මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ රත්නපුර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් 2026.07.06 දින අදාළ චෝදනාවලට වරද පිළිගත් කීල්ස් සුපර් 2 ආයතනයට රුපියල් 100,000ක දඩ මුදලක් නියම කරනු ලැබුවා.
පාරිභෝගිකයින් රවටමින් පාලන මිල ඉක්මවන, බාල ප්‍රමිතියේ හෝ කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළෙඳුන් පිළිබඳව කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි ඇමතුම් අංකය ඔස්සේ වහාම දැනුම් දෙන ලෙස පාරිභෝගික අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

