මීගමුව බන්ධනාගාරය ප්‍රතිසංස්කරණය කෙරෙන තෙක් ‘මහමෝදර‘ හා ‘පැරණි බෝගම්බර‘ පරිශ්‍ර තාවකාලික පදනමින් බන්ධනාගාර ආඥා පනතේ කාර්යයන් සඳහා බන්ධනාගාර ලෙස පිහිටුවීමට නියමයන් නිකුත් කොට ඇත.
2026 ජූලි 5 හා ජූලි 6 දෙදිනේදී මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ හදිසි තත්ත්වය හේතුවෙන්, එම පරිශ්‍රය දැඩි ලෙස විනාශයට පත්ව ඇත. එය අපරාධ ස්ථානයක් බවටද සැලකෙන හෙයින් එම පරිශ්‍රයේ රැඳවූවන් රඳවා තැබීම නුසුදුසු බවට බන්ධනාගාර පරිපාලනය විසින් තීරණය කර ඇත.
එම නිසා, විමර්ශන නිලධාරීන්ට අපරාධ ස්ථානයෙහි ආරක්ෂිතව විමර්ශන කටයුතු සිදු කිරීමට ඉඩ හැරීමටද, රැඳවියන්ගේ ආරක්ෂාව සැලැස්වීමට ද‚ විමර්ශන කටයුතු අවසාන වීමෙන් පසු මීගමුව බන්ධනාගාර පරිශ්‍රය ප්‍රතිසංස්කරණය කිරීම කඩිනමින් ආරම්භ කිරීමටද හැකි වන පරිදි මෙම පරිශ්‍රයේ රඳවා සිටි රැඳවූවන් බොහොමයක් වෙනත් බන්ධනාගාර පරිශ්‍ර වෙත තාවකාලිකව මාරුකර ඇත.
එසේම‚ දැනට පවත්වාගෙන යනු ලබන බන්ධනාගාරවල සිර ඝනත්වය සහ රැඳවූවන්ගේ සුභසාධනය සලකමින් පවතින බන්ධනාගාරවලට වැඩිමනත් ලෙස, තාවකාලික පදනමින් වෙනත්, සුදුසු පරිශ්‍ර වෙත රැඳවූවන් යම් ප්‍රමාණයක් විතැන් කිරීමේ අවශ්‍යතාව පැන නැඟී ඇති බැවින් මෙම තීරණයට එළඹ ඇත.

